නාවලපිටිය-මහනුවර මාර්ගයේ ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස් රථ ඊයේ දහවල් සිට ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අදත් ක්රියාත්මක වි තිබේ.
මෙම වැඩ වර්ජනයට සහයෝගය දක්වමින් ගිනිගත්හේනේ සිට නාවලපිටිය දක්වා ධාවනය වන සියලුම ලංගම සහ පෞද්ගලික බස් රථද ඊයේ(25) දහවල් සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
හැටන් සිට මහනුවර දක්වාත් මහනුවර සිට හැටන් දක්වාත් ධාවනය වන සියලුම ලංගම සහ පෞද්ගලික බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොල වෙත ඇතුළු කර මගින්ව බස්සවා නාවලපිටිය බස් නැවතුම්පොලේ සිය ගමනාන්තය දක්වා යාමට සිටින මගින් නංවා ගන්නා බව පවසමිනුයි මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව වාර්තාවෙයි.
හැටන් සිට මහනුවර දක්වාත් මහනුවර සිට හැටන් දක්වාත් ධාවනය වන දුර ගමන් සේවා බස් රථ නතර කිරීම සඳහා නාවලපිටිය දුම්රිය ස්ථානය අසල මාර්ගය දෙපස බස් නැවතුම්පොලක් ඉදි කර ඇතත් එම නැවතුම්පොලේ හැටන් සිට මහනුවර දක්වාත් මහනුවර සිට හැටන් දක්වාත් ධාවනය කරවන බස් රථ නතර නොකර නාවලපිටිය බස් නැවතුම්පොලේ නතර කරන බවයි වැඩ වර්ජනයේ නිරතව සිටින නාවලපිටිය සහ ගිනිගත්හේන ප්රදේශයේ බස් රථ හිමියන් කියා සිටින්නේ.
නාවලපිටිය බස් නැවතුම්පොලේ කාලයක් තිස්සේ බස් නතර කල බවත්, නව ස්ථානයක කිසිදු පහසුකමක් නොමැතිව හැටන් සිට ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ නතර කර නොහැකි බව පවසමින් හැටන් සිට මහනුවර දක්වා සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ 24 දින වැඩ වර්ජනයකද නිරත විය.
මෙම ගැටළුවට නාවලපිටිය පොලිසිය මගින් කිසිදු පියවරක් නොගන්නා බව පවසමින් නාවලපිටිය ප්රදේශයේ ලංගම සහ පෞද්ගලික බස් රථ හිමියන් චෝදනා කරයි.
මෙම ගැටළුව සම්බන්ධයෙන් ඊයේ (25) පොලීසිය සමග සාකච්ඡා පැවැත්වුවත් එයට විසඳුමක් නොලැබුණු බව නාවලපිටිය ප්රදේශයේ බස් හිමියන් පැවසීය.