ලොතරැයි අලෙවිය පහළට

Share

දෛනික ලොතරැයි අලෙවිය 30%ත්, 40%ත් අතර ප්‍රමාණයකින් පහළ බැස තිබෙන බවත්, එබැවින් ලොතරැයි අලෙවිකරුවන් හාරදහස් පන්සියයක් හා අලෙවි සහායකයන් තිස්දහසක් අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සියලු දෙනාටම සාධාරණයක් ඉටුකිරීම සඳහා ලොතරැයි අලෙවියේදී ලබාදෙනු රුපියල් තුනයි ශත පනහේ කොමිස් මුදල රුපියල් හතර දක්වා වැඩි කරන බවට බලධාරීන් පොරොන්දු වුවද, මෙතෙක් එය ඉටුකර නොමැති බවද එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹේ මහතා සඳහන් කළේය.

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් පසු ලොතරැයි අලෙවි කුටි තුළ බුලත් විට හා පුවත්පත් අලෙවි කිරීම තහනම් කර තිබෙන බවත්, එබැවින් අලෙවි සහායකයන්ගේ දෛනික ආදායමෙන් 50%ත්, 60%ත් අතර මුදලක් අහිමි වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

රුපියල් 03 ශත 50 කොමිස් මුදලින් රුපියල් 02 ශත 50ක් අලෙවි සහායකයන්ට ලබාදෙන බවත්, ඔවුන්ට දෛනික වියදම සොයා ගැනීම සඳහා අවම වශයෙන් ලොතරැයි පත් පන්සියයත්, හත්සියයත් අතර ප්‍රමාණයක් දෛනිකව අලෙවි කළ යුතු බවත් පැවසූ සභාපතිවරයා, පවතින තත්ත්වය හමුවේ ඇතැම් අලෙවි සහායකයන්ට ලොතරැයිපත් දෙසියයක් හෝ දෛනිකව අලෙවි කළ නොහැකි බවද පැවසීය.

එබැවින් කඩිනමින් ශත 50 කොමිස් මුදල ඉහළ දමා මෙම පිරිසට සාධාරණයක් ඉටු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Read more

Local News