නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයගේ නියෝගයක් ජනපති අවලංගු කරයි

Share

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර හිස්බුල්ලා මහතාගේ නියෝග මත නැගෙනහිර පළාතේ දමිළ පාසල්වලින් ස්ථානමාරු කර යැවූ සියළු මුස්ලිම් ගුරුවරුන්ගේ ස්ථානමාරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත අවලංගු කිරීමට නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ ලිඛිත නියෝගය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මන්සූර් මහතා විසින් මාරුවීම් සිදුකළ විදුහල්වල විදුහල්පතිවරුන් වෙත (24)වනදා යොමු කර ඇති අතර මාරුවීම් ලද ගුරුවරුන් පෙර සේවය පාසල්වල රාජකාරී සදහා අනිවාර්යෙන්ම වාර්තා කළයුතු බවටද නියෝග කර ඇත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සිය බලතල පදනම් අනිසි ලෙස ක්‍රියාත්මක කරමින් නැගෙනහිර පළාතේ දෙමළ පාසල්වල ඉගැන්වීම් කරන මුස්ලිම් ගුරුවරුන් මුස්ලිම් පාසල් වෙත මාරුකරමින් සිටින බවට හා කාත්තාන්කුඩියේ මුස්ලිම් සිසුන් වෙනුවෙන් වෙනම අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට සැරසෙන බවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැමිණිලි කර තිබිණි.

මේ පිළිබඳ අවධානය යොමුකර ඇති ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරයා දුරකතන මගින් සම්බන්ධ කර ගනිමින් එකී ස්ථාන මාරු වහාම අවලංගු කරන ලෙසට නියෝග කොට තිබිණි.

මේ අනුව නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් මෙකී මාරුකිරීම් සියල්ල අවලංගු කර ඇති අතර ඒ පිළිබඳ ලිපි සියළු විදුහල්පතිවරුන් වෙත යවා තිබේ.

ඒ අනුව මාරු වීම් ලද මෙම ගුරුවරුන් පෙර රාජකාරී කළ විදුහල්වල රාජකාරී සඳහා වාර්තා නොකළහොත් වැටුප් රහිත නිවාඩු ලබාදෙන ලෙසටද විදුහලතිවරුන්ට උපදෙස් දී තිබේ.

මේ අතර හිස්බුල්ලා මහතා විසින් මුස්ලිම් පාසල් 30ක් එක්කරමින් කාත්තාන්කුඩියේ  වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමේ උත්සහායද ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වේ.

Read more

Local News