හදිසි නීතිය අපට හැමදාම පවත්වාගෙන යන්න බැහැ

Share

හදිසි නීතිය දිගින් දිගටම පවත්වාගෙන යෑමට නොහැකි නිසා ත්‍රස්තවාදි ක්‍රියාවල නිරත වන්නන්ට එරෙහිව ස්ථිර නීතියක් යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය  පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මල්වතු හා අස්ගිරි මහනා හිමිවරුන් බැහැ දැකිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අද(27) අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“හදිසි නීතිය අපට හැමදාම පවත්වාගෙන යන්න බැහැ. ස්ථිර නීතියක් යටතේ මේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා, අන්තවාදී කි‍්‍රයා වෛරී ප‍්‍රකාශ කරන කවරෙක් හෝ වේවා, මුස්ලිම් මූලධර්මවාදීන් වේවා, වෙනත් අය වේවා මර්ධනය කිරීම සඳහා කටයුතු යොදා ගැනීම.

ඒ වගේම වෙනම පාලනයක්, වෙනම සමාජයක් ඇතිකරගෙන යාම, විශේෂයෙන්ම මද්රාසා පාසල්, ෂරියා විශ්ව විද්‍යාල, බුර්කා ඇඳුම් පැළඳුම්, අරාබි භාෂාවෙන් විවිධ නාමපුවරු පවත්වාගෙන යාම, වෙනම පාලනයක් පවත්වාගෙන යන තත්වයන් වහාම නීතිමය වශයෙන් මැඩලීමට කටයුතු කිරීම.

ඒ වගේම අහිංසක නිරායුධ පුද්ගලයින්ගේ දේපල විනාශ කිරීමට කටයුතු කරන පිරිස් දැඩිව ඍජුව මර්ධනය කරලා සාමකාමී වාතාවරණයක් සමාජයේ ඇති කර ගැනීමට කටයුතු කිරීම.

ඒ වගේම මේ සිද්ධියෙන් විශාල ආර්ථික ව්‍යසනයක් සිදුවුණා. ඒ ව්‍යසනයට පත් වූ පිරිස්වලට දැනටමත් රජයෙන් යම් යම් සහන දීලා තිබෙනවා. ඒ වගේම සමාජීය වශයෙන් අපි යෝජනා කළා ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ආරක්‍ෂක මණ්ඩලවලට යන්න  ඕනේ කියලා.

අපිට සතුටුයි කියන්න දැන් ආරක්‍ෂක උපදේශක සභාවක් හදලා තිබෙනවා, ජනාධිපති, අගමැති, විපක්ෂනායක සහ කතානායකතුමා සිටින. එය අපි හොඳ දෙයක් විදිහට දකිනවා. මොකද මේකට පක්ෂ විපක්ෂ භේදයක් අවශ්‍ය නැහැ ඉදිරියට යන්න.

දැන් අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි නීති රීති ටික සකස් කර ගන්න පාර්ලිමේන්තුවේ සියළු දෙනාගේම කැමැත්තෙන්.

දැනට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු 11 දෙනෙක් යෝජනා 11 ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒක අපි ආරක්‍ෂක ආංශික කාරක සභාවට ඉදිරිපත් කළා.

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී පැය ගණනාවක් අපි මේ සම්බන්ධයෙන් ඒ ඒ ආයතනවල තිබෙන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

අපේ ඉලක්කය ඒ ඒ ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යංශවල ඒ කාර්ය භාරය හැකි ඉක්මනින් ඉටු කරලා පාර්ලිමේන්තුවේ ඒ නීති සම්මත කරගැනීම කටයුතු කරයි කියලා. එතනදී අපේ කිසිම පක්ෂ බේදයක් නැහැ අපි සියලූ දෙනාම එකට එකතුවෙනවා.“

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ  මල්වතු  පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනා හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් බැහැ දැක අශිර්වාද ලබාගත්තා.

Read more

Local News