කුරුණෑගල වෛද්‍යවරයා ගැන විමර්ශනය කරන කමිටුව GMOA ප්‍රතික්ෂේප කරයි

Share

වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා හය දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කර තිබේ.

වෛද්‍ය ෂාෆිගෙන් සිසේරියන් සැත්කම කරගත් මව්වරුන් රැසක් අදත්(28) පැමිණිලි ඉදිරිපත් කළ අතර දඹුල්ල ප්‍රදේශයේ මව්වරුන්ට ද කුරුණෑගල රෝහල වෙත පැමිණ, පැමිණිලි කිරීමට අවස්ථාව ලබාදී ඇති බව රෝහල් බලධාරීන් පවසයි.

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරයි.

ඔහු යටතේ සිසේරියන් සැත්කම් සිදු කරගත් මව්වරුන් 51 දෙනෙකු ඊයේ(27) දිනය වන විට කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබූ අතර අදත් 20කට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් රෝහල වෙත ලැබී තිබේ.

මේ අතර වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පත් කළ කමිටුව පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේ, මෙම අවස්ථාවේදී කාණ්ඩ කීපයක් පරීක්ෂණ පැවැත් විය හැකි බවයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හා පොලීසියෙන් පරීක්ෂණ සිදු කල හැකි බවත්, විශේෂයෙන් ආචාර ධර්ම ගැන කරුණු සොයා බැලීමට රටේ වෛද්‍ය සභාවක් ඇති බවත් ඒ අනුව වෛද්‍ය සභාව මඟින් පරීක්ෂණයක් කළ යුතු බවත් නවීන්ද සොයිසා මහතා කියා සිටියේය.

ඊට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එහි ව්‍යවස්ථාව අනුව, සංගමයට යම් අපකීර්තියක් සිදු වන්නේ නම්, එයට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාව පවතින බව ද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ මොහොතේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛාව රැස්ව ඇති බවත්, ඔවුන් කුරුණෑගල රෝහල් ශාඛාව ලෙස අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ කමිටුව පිළි නොගෙන සිටීමට තීරණය කර ඇති බවත් වෛද්‍ය නලින්ද සොයිසා මහතා පැවසීය.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුවත් ඒ තීරණය සමඟ කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

වෛද්‍ය සභාව යනු තාක්ෂණීක තීන්දු ගන්නා ආයතනයක් බවත් එසේ ගන්නා ලද තීන්දු සෞඛ්‍ය අමාත්‍යවරයා අත්සන් නොකරන්නේ නම්, අපි ජීවත් වන්නේ එවැනි රටක බවත්, මෙම පරීක්ෂණය තුළින් ද නිසි පරීක්ෂණයක් සිදුවේයැයි කිසිදු විශ්වාසයක් නොමැති බව ද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Read more

Local News