පොලිතීන් තහනම පිළිබඳ රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපතිතුමා පවසයි

Share

ලිතීන් සහ ප්ලාස්ටික් තහනම පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

ඒ පිළිබඳ රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුව විධිමත්ව සහ කඩිනමින් කි‍්‍රයාවට නැංවීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමේ වගකීම මධ්‍යම පරිසර අධිකාරියට පැවරෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට   (16) පස්වරුවේ එක්වෙමිනි.

එය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ඇස්බැස්ටෝස් සහ දුම්කොළ තහනම සඳහා රජය කි‍්‍රයාකරන අන්දමින්ම පරිසරයේ පැවැත්ම සඳහා දැඩි අභියෝගයක් වූ පොලිතීන් පිළිබඳව ද තීන්දු තීරණවලට එළැඹෙන බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගත් තීන්දුවක් ලෙස ඒ පිළිබව ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හරහා කි‍්‍රයාවට නංවා ඇති වැඩසටහන්වල ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම මෙම වසර සඳහා අමාත්‍යාංශය වෙත ලැබී ඇති ප‍්‍රතිපාදන වැය කිරීම පිළිබඳවද සමාලෝචනයක් සිදු කෙරිණි.

විශේෂයෙන්ම පවතින වියළි කාලගුණික තත්ත්වයන් සමග ජනතාවට අවශ්‍ය පානීය ජලය සහ කෘෂිකාර්මික කටයතු සඳහා ජලය නිකුත් කිරීමේ කටයුතු පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී කරුණු විමසූ අතර දිවයිනේ ප‍්‍රධාන ජලාශවල ජලය නිකුත් කිරීම් පිළිබඳව ද අවධානය යොමු විය.

මොරගහකන්ද ව්‍යාපෘතිය හරහා වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම මේ වන විට සිදු කර තිබෙන අතර එම ජලාශය තුළ ජලය රදවා ගැනීම හේතුවෙන් ප‍්‍රදේශයේ ගොවි ජනතාවගේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීමට හැකිවූ බව නිලධාරින් පෙන්වා දුන්හ.

අනුරාධපුර නගරය ආශ්‍රීත පානීය ජල ගැටලුව සහ ඒ වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මොරගහකන්ද – කළුගඟ උමං පද්ධතිය නිර්මාණය කිරීමේ දී උමා ඔය උමග පිළිබඳව සිදුවීම ආදර්ශයට ගනිමින් නිසි තාක්ෂණික ඇගයීම් සහ තීන්දු තීරණය අනුව එම කටයුතු සිදුකිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට අයත් දැනට භාවිතයට නොගන්නා ගොඩනැගිලි පිළිබඳව ජනාධිපතිතුමා විසින් මීට පෙරද වාර්තාවක් ඉල්ලා තිබූ අතර එම ගොඩනැගිලි සංචාරක නිවාස ලෙස ඉදිකර සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් ස්ථාන බවට පත්කරමින් ආදායම් උපයා ගැනීමේ වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

අමාත්‍යාංශය සතු භාවිතයට නොගෙන දැනට අතහැර දමා ඇති ගොඩනැගිලි රජයේ වෙනත් ආයතන සඳහා ලබාදීමේ හැකියාව මෙන්ම එසේත් කළ නොහැකි නම් ඒවා අපහරණය කිරීම පිළිබඳවද අවධානය යොමු විය.

ඉදිකිරීම් සඳහා අවශ්‍ය වැලි ලබාගැනීමේ ගැටලුව පිළිබඳව ද සාකච්ඡාවට ලක්වූ අතර මුහුදුවැලි භාවිතයට ජනතාව හුරු කිරීම සඳහා රාජ්‍ය ආයතනවල ඉදිකිරිම්වලදී මුහුදු වැලි භාවිතා කරමින් එම ආදර්ශය ලබාදීම පිළිබඳව ද සාකච්ඡා විය.

අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න යන මහත්වරුන් ඇතුළු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ යටතේ පවතින සියලු ආයතනවල ප‍්‍රධානින් මීට එක්ව සිටියහ.

Read more

Local News