සමෘද්ධි සංවර්ධන සංගමයෙන් නිවේදනයක්

Share

නව පවුල් ලක්ෂ 06 වෙත අලූතින් සමෘද්ධි සහනාධාරය ලබා දීමේ උත්සව සදහා වැය කිරීමට නියමිත රුපියල් මිලියන 300 ආසන්න මුදල නව සමෘද්ධි සහනාධාර පවුල් ලක්ෂ 06 හි සමෘද්ධි සහනාධාරයෙන් අය කර ගැනීමට ඊයේ  (28)  දින ගත් තීරණය කිරීම තම සංගමය තරයේ හෙලා දකන බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය පවසයි.

ප‍්‍රතිපුරණය කිරීමේ පදනම මත සමෘද්ධි සමාජ ආරක්ෂණ අරමුදලින් රුපියල් මිලියන 180 මුදලක් පළමුව වියදම් කිරීමට 2019.05.17 දින පැවති සමෘද්ධි සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් අනුමැත කර තිබු අතර එම මුදල් පියවා ගැනීම වෙනුවෙන් 2019.05.28 ඊයේ දින පැවති සමෘද්ධි බැංකු කළමණාකරණ මණ්ඩලය මගීන් නව සමෘද්ධි ප‍්‍රජාමුල බැංකු හරහා එක් සමෘද්ධි සහනාධාරලාභියෙකුගෙන් රු.500  බැගින් නව සමෘද්ධීලාභී පවුල් වලින් අය කර ගැනීමට තීරණය කර ඇත.

2019.05.30 දින සිට 2019.06.15 දින දක්වා පැවැත්වෙන මෙම උත්සව වෙනුවෙන් වේදිකා 25 සදහා රු.ලක්ෂ 1062, ටී ෂර්ට් 125000 වෙනුවෙන් රු. ලක්ෂ 605, පෝස්ටර් සදහා රු.ලක්ෂ 24, මාධ්‍ය ප‍්‍රචාරණය වෙනුවෙන් රු.ලක්ෂ 382 හා ආවරණ කුටි වෙනුවෙන් රු.ලක්ෂ 53 වියදම ලෙස රු.ලක්ෂ 2673  හා ගමන් වියදම් හා සංග‍්‍රහ වියදම් ලෙස විශාල මුදලක් වැය කිරීම ආණ්ඩුව සැලසුම් කර තිබේන බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය පවසයි.

මෙම උත්සවය වෙනුවෙන් රු.මි 180 වියදම් කිරීමට අපේක්ෂා කර තිබු අතර එම මුදල පියවා ගැනීම සදහා නව සමෘද්ධි සහනාධාරලාභියෙකුගේ සමෘද්ධි සහනාධාරයෙන් රු.300 බැගින් සහනාධාර පවුල් ලක්ෂ 06 අය කර ගැනීම සැලසුම් කර තිබුනත් මේ වන විට සැලසුම් කර තිබු වියදම රු.මි 300 දක්වා ඉහල යාම මත එක් සමෘද්ධි සහනාධාරලාභියෙකුගෙන් රු.500 බැගින් නව සමෘද්ධී ලාභීන්ගෙන් වැඩි කර අය කර ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම නාස්තිකාර වියදම සමෘද්ධි ප‍්‍රජාමුල බැංකු මගීන් අය කර ගැනීම සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී.බණ්ඩාර මහතාගේ අත්සනින් 2019.05.29 අද දින දිවයිනේ සියළුම සමෘද්ධි බැංකු කළමණාකරුවන් වෙත ලිඛිතව දැනුම් දීමට නියමිතව තිබේ.

ආණ්ඩුවේ ඉදිරි මැතිවරණ උවමනාව වෙනුවෙන් සිය ප‍්‍රතිරූපය වර්ධනය කර ගැනීම සදහා උත්සව සංවිධානය කර ඊට රු.මි 300 ආසන්න මුදලක් වියදම් කර එම මුදල සමෘද්ධි සහනාධාරයෙන් අය කර ගැනීම නිර්ලැජ්ජිත කාර්යක් බව අප සංගමය මෙයින් පෙන්නා දෙන අතර මෙම තීරණය අවලංගු කිරීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බව පවසමින් එම සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.

Read more

Local News