ගින්නකින් තේ වත්තේ කම්කරු පේළි නිවාස 24 ක් විනාශයි

Share

තලවාකැලේ පොලිස් බල ප්‍රදේශයට අයත් හොලිරූඩ් තේ වත්තේ කම්කරු පේළි නිවාස 24 ක් ගිනිගෙන මුළුමනින් විනාශ වී ඇති බවට වාර්තා වෙයි.

හොලිරූඩ් තේ වත්තේ කම්කරු නිවසක ඇතිවු ගිනි ගැනීමක් නිසා එම පෙලේ නිවාස 24 ක් මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇත.

ඊයේ(29) දා රාත්‍රි 10.30 ට පමණ මෙම ගින්න ඇතිවී ඇති බවත් එමඟින් එම නිවාස වල වාසය කළ පවුල් 24 කට අයත් පුද්ගලයින් 100කු අවතැන් වු බව පොලීසිය පවසා ඇත.

ඒ අතර  පිරිමි 51 ක් හා කාන්තාවන් 49 ක් වන බවත් 22ක් පාසල් දරුවන් බවත් පොලීසිය සඳහන් කරයි.

ඔවුන් සතුව තිබු බොහෝ දේවල් ගිනිබත් වී ඇති අතර ගින්න ව්‍යාප්තවීමේ සීඝ්‍රතාවය නිසා වටිනා ලියවිලි, උපකරණ හා භාණ්ඩ ද ගිනිගෙන ඇත.

අවතැන්වුවන්ට තාවකාලිකව හොලිරූඩ් දෙමළ විද්‍යාලයේ නවාතැන් පහසුකම් සලසා දීමට වතු පාලන අධිකාරිය පියවරගෙන තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර විදුලි කාන්දුවක් විය හැකි බවට තලාවාකැලේ පොලීසිය සැක පල කරයි.

ගිනිගැනීමෙන් කිසිවෙකුට ජීවිත හානි හෝ තුවාල සිදුවි නොමැති අතර තලවාකැලේ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Read more

Local News