තලාව බැංකු කොල්ලයට අදාළ 3ක් අත්අඩංගුවට

Share

තලාව ලංකා බැංකුවේ සේප්පුවල තිබූ රුපියල් දස කෝටි විසිපන්ලක්ෂයකට අධික වටිනාකමින් යුත් මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාල මුදල් සහ රන් භාණ්ඩ විකිණීමෙන් මිලට ගත් කැබ් රථයක් සහ මෝටර් රථයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

පසුගිය වසරේ ජුනි 29 සහ ජුලි 02 වන දින අතර කාලය තුළ තලාව ලංකා බැංකු ශාඛාවේ සේප්පු වල තිබූ මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසියේ නිළධාරින් විසින් විමර්ශන කටුයුතු සිදු කරනු ලැබුවේය.

පසුගිය ජනවාරි මස 20 වන දින ගංජා ළඟ තබා ගැනිමේ චෝදනාවට සැකකරුවන් 06 දෙනෙකු එප්පාවල කිරලෝගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

එප්පාවල පොලිසිය විසින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාල සැකකරුවන්ගෙන් තිදෙනෙකු තලාව බැංකු සොරකමට සම්බන්ධ බවයි.

ඒ අනුව ඔවුන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර යුධ හමුදාවෙන් පලා ගිය සෙබලෙකු සහ ගුවන් හමුදාවෙන් නීත්‍යානුකූලව වෙන් වූ පුද්ගලයෙකු ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Read more

Local News