රටේ ආරක්ෂාව තහවුරු වෙලාද ?

Share

ආරක්ෂාව තහවුරු වී ඇති බව ආණ්ඩුව විසින් ප්‍රකාශ කළද අවධානම තවදුරටත් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද(30) කොළඹදී කැඳවා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසීය.

“පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් සොයන්න පත්කරපු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා සහ තවත් මන්ත්‍රීවරු ඇවිත් හිටියේ නැහැ. මේක සැබැවින්ම ඛේදවාචකය ගැන හොයන්න පත්කරපු එකක්ද. විශේෂ තේරීම් කාරක සභාව හරහා රිෂාඞ් බදියුදින් නිවැරදිකරුවෙක් කරන්නයි කටයුතු කරන්නේ කියලා  අපි මුල ඉදලාම කිව්වා.

මේ තරම් බරපතළ කාරණාවක් සම්බන්ධයෙන් පත් කරපු කාරක සභාවේ සියලුම මන්ත්‍රීවරු සහභාගි නොවීමත් පුදුමයක්. වසර ගණනාවක් තිස්සේ විපක්ෂයක් විදියට අපි කිව්වා බුද්ධි අංශ දුර්වල කිරීමක් වුන බව.

මේ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමේ බුද්ධි අංශ ගැන විශ්වාස නොකර ඒ තෙරතුරු මඟ හැරීම නිසා මේ ප්‍රහාරය එල්ල වුන බව පැහැදිලියි. බුද්ධි අංශයේ අභ්‍යන්තරය ගැන ප්‍රශ්න කරන්න සරත් ෆෝන්සේකා මහතා ඇරෙන්න අනිත් අය සුදුසුද කියලා හිතන්න වෙනවා.

මිලේනියම් ඛේදවාචකය හරහා බුද්ධි අංශය විනාශ වුනා වගේ තවත් එවැනිම ඛේදවාචකයකට රට මෙහෙයවිමක්ද මෙතැන වෙන්නේ කියලා අපිට හිතෙනවා.

ඒනිසා බුද්ධි අංශවල අභ්‍යන්තරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදි තෝරා බේරා ගෙන ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. එකිනෙකාගේ බලය මොකක්ද කියන දේ නෙවෙයි මේ කාරක සභාව හරහා ජනතාව දැන ගන්න උත්සාහ කරන්නේ.

මේ ප්‍රශ්න කිරීම්වලදි ජනතා විමුක්ති පෙරමුණත්, රාජිත සේනාරත්න මහතාත් එකම මතයක් දැරීම අපිට ප්‍රශ්නයක්. බුද්ධි අංශය තොරතුරු ඒකාරාශී කිරීමට අනුගමනය කරන පිළිවෙත් පසුගිය කාලයේ රාජිත සේනාරත්න අනාවරණය කළා.

එහෙම කරද්දි එතුමා නොසිටි අවස්ථාවක ජවිපේ නියෝජිතයා ඒකාරණය සම්බන්ධයෙන් විමසුවා. මේ වෙද්දි රාජිත සේනාරත්න ප්‍රමුඛ රජයත් ජවිපෙත් එකම කාරණයක් ඔස්සේ ගමන් කිරීම අපිට සැකයි.

බුද්ධි අංශ ප්‍රධානිට තින්දු තිරණගන්න බලයක්නැති බව කියනවා. එහෙමනම් කාටද බලය තියෙන්නේ. මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිත්, අගමැති රනිල් වික්‍රමසිංහත් රටට අනාවරණය කරන්න ඕනේ.

ආරක්ෂක කමිටුව පෙබරවාරි මස සිට රැස් නොවුනේ රටේ ජාතික ආරක්ෂාව තුට්ටුවකට මායිම් නොකරන ආන්ඩුවක් කියන එක ගම්‍ය වෙනවා. එහි ප්‍රතිඵලය අපි දැක්කා.

ආරක්ෂාව තහවුරු වෙලා කියලා රජය කිව්වත් ඒ අවධානම තවදුරටත් තිබෙන බව තේරුම් කාරක සභාවේ සාක්ෂි මගින් අපි දැක්කා. සරත් විජේසූරිය මහතා සාධාරණ සමාජයක් වෙනුවෙන් මේ රජය බලයට ගේන්න කැපකිරීමක් කළා. පැවැති රජය බරපතළ ලෙස විවේඡනය කරලා දැන් එතුමා විසින්ම එතුමාට සාප කරගන්නවා.“ යැයි ද පැවසීය.

Read more

Local News