කෙහෙළියට එරෙහි නඩු විභාගය වළක්වාලමින් තහනම් නියෝගයක්

Share

රජයේ මුදල් අවභාවිතා කළ යැයි අල්ලස් කොමිසම විසින් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ලබන මස 11 වන දා දක්වා විභාග කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව පෙත්සම නැවත ලබන 11 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි වගඋත්තරකාර අල්ලස් කොමිසමේ නිලධාරීන්ට නොතීසි නිකුත් කළේය.

තමන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ 2012 වසරේ මාර්තු මස 15 වනදා සිට අප්‍රේල් මස 14 වන දා දක්වා කාලසීමාව තුළ සිය පෞද්ගලික දුරකථනය සඳහා ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ තිස් එක් දාහක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම් තුළින් රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම නඩුව ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළත් එය ප්‍රතික්ෂේප කොට නඩුව විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුකර ඇති බව පෙන්වාදෙන රඹුක්වැල්ල මහතා මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බව කියා සිටියේය.

මේ හේතුවෙන් මහේස්ත්‍රාත්වරයාගේ තීරණය බලරහිත කොට මෙම නඩුවෙන් තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කර ලෙසත් මෙම පෙත්සම විභාග අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තමන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබේ.

Read more

Local News