ඉන්දු, ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා මත ඉදිරියට යාම අතිශය වැදගත්- ඉන්දීය ජනපති

Share

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ඓතිහාසික සම්බන්ධතාවය පදනම් කර ගනිමින්, ආර්ථික හා සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අතිශය වැදගත් බව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා අවධාරණය කළේය.

ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය හැමවිටම අද්විතීය හා උණුසුම් මට්ටමකින් පැවති බවත්, වර්තමානයේ ඒ මිත්‍රත්වය වර්ධනය කරලීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන නායකත්වය අගය කරන බවත් කෝවින්ද් මහතා පැවසීය.

23 වන දා සන්ධ්‍යාවේ ඉන්දීය ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර නවදිල්ලි නුවර රාෂ්ඨපති භවන් හි දී පැවති සාකච්ඡාවන් හි දී කෝවින්ද් මහතා අවධාරණය කළේ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් දැක්ම තමාගේ අභිලාශය බවය.

ඉන්දියාවේ නව ජනාධිපති පදවියට තේරී පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත්, කැබිනට් මණ්ඩලයේත් සුබ පැතුම් වික්‍රමසිංහ මහතා කෝවින්ද් මහතා වෙත පිරිනැමීය. අත්දැකීම් බහුල රාෂ්ඨ පාලකයෙකු වන කෝවින්ද් මහතාගෙන් ඉන්දියාවට අතිමහත් සේවයක් සැලසෙනු ඇති බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කරලීම පිළිබඳවත්, දෙපාර්ශවය එක්ව සිදු කරනු ලබන සංවර්ධන කාර්යයන්හි ප්‍රමාදයන් දුරු කරලීම පිළිබඳවත් වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දීය ආධාර යටතේ ලබා දෙන නිවාස වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැණිනි.

Read more

Local News