පලස්තීන ජනතාවගේ අරමුණු ඉටුකරගැනීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව සහය දෙනවා – කතානායකතුමා

Share

කාබනික ගොවිතැන් ව්‍යාපෘති හා උසස් අධ්‍යාපන වැනි සංවර්ධන කටයුතුවලදී මෙන්ම අරාබි ලෝකය සමඟ ඇති ආර්ථික හා සංස්කෘතික සබඳතා ගොඩනඟා ගැනීමේදීත් අන්‍යොන්‍ය සහයෝගයෙන් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට හා පලස්තීනයට මහඟු අවස්ථාවක් උදා වී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

කොළඹ ලක්ෂමන් කදිරගාමර් ආයතන ශ්‍රවණාගාරයේ ඊයේ (27) පැවැති එක්සත් ජාතීන්ගේ පලස්තීන සහයෝගිතා දිනය සැමැරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවෙමින් මෙම අදහස් පළ කළ කතානායකවරයා මේ රටේ ත්‍රස්තවාදී යුද්ධය පැවැති කාලයේ දී පවා රටතුළ සාමය උදාකර ගැනීම සඳහා පලස්තීන රජය මහත් සහයෝගයක් ලබා දුන් බව ද සිහිපත් කළේය.

පලස්තීන ජනතාවගේ අභිලාෂයන් සඵල කරගනු පිණිස ශ්‍රී ලාංකික ජනතාව දීර්ඝ කාලයක සිට සහයෝගයෙන් කටයුතු කර ඇති බව පෙන්වා දුන් ජයසුරිය මහතා ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ට ලබාදුන් එම සහයෝගයට පලස්තීන රජය අඛණ්ඩව ගරුකරන බව ද කීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු කතානායකවරයා අප රටේ කාබනික කෘෂිකර්මාන්තය දියුණු කර ගැනීම සඳහා පලස්තීන විශේෂඥයින්ගේ සහාය ලබාගත හැකිබවත් අධ්‍යාපනික ක්ෂේත්‍රයේදී පලස්තීන සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යපාන පහසුකම් ලබාදී තිබෙන බවත් සඳහන් කෙළේය.

Read more

Local News