ජනපති දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු වේ

Share

රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසඳුමක් සමග රට සංවර්ධනය කරා ගෙන යමින් සියලු ජාතීන් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීම තම අරමුණ බවත්, කිසිවෙකුට ෆෙඩරල් බලයක් හෝ රට කැඩෙන අන්දමේ බලයක් ලබාදීමට තමා සූදානම් නොමැති අතර, තමා ජනාධිපති ධුරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ, දකුණු කොරියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව සමග හමුවකට ඊයේ (28) පස්වරුවේ සෝල් නුවර දී එක්වෙමිනි. වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, ශිෂ්‍යයින් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල කටයුතු කරන ශී‍්‍ර ලාංකිකයින් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

තමා බලයට පැමිණියේ රට පැවතියාට වඩා හොඳ තත්ත්වයකට ගෙන ඒමට බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඉතිහාසයේ සිදු වූ වැරදි නිවැරදි කිරීමේ පිවිතුරු චේතනාවෙන් ශී‍්‍ර ලාංකිකයින්ට සාමයෙන්, සමගියෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩනැගීම තම අරමුණ බව කියා සිටියේය.

එමෙන්ම තමා රට භාරගත්තේ යුද හමුදාව දුර්වල කිරීමට හෝ ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට නොවන අතර, මාතෘ භූමිය වෙනුවෙන් අංක 01 ට ඉටුකළ යුතුව තිබූ කාර්යයක් වූ ජාත්‍යන්තරය දිනා ගැනීමේ අභියෝගය ජය ගැනීම තම ප‍්‍රමුඛ අරමුණක් වූ බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

ලෝකයේ බලවතුන්ගේ උදහසට ලක්ව සිටී ශී‍්‍ර ලංකාව යළි ජාත්‍යන්තරයට සමීප කිරීමට ඉකුත් වසර 03 තුළ තමා සමත්වූ අතර, කවුරුන් කෙසේ කීවද අද තමන් රට වෙනුවෙන් සමස්ත ලෝකයම දිනාගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

එම යහපත් විදේශ ප‍්‍රතිපත්තිය තුළ ජාත්‍යන්තර යුද අධිකරණ, ජාත්‍යන්තර විනිසුරුවරුන් මෙන්ම විදුලි පුටුව ගැන කථා කළ පොත වසා දැමීමට, කටයුතු කළ ද ඉන් ජීවත්වන ඇතැම් පිරිස් එම පොත වසා දැමීමට සූදානම් නොමැතිව ජාත්‍යන්තරය හමුවේ අප විසඳාගත් කරුණු පිළිබඳව ද තවමත් කථා කරමින් සිටින බව ප‍්‍රකාශ කළේය.

අද සමස්ත රට තුළම විශාල සංවර්ධනයක් සිදු කරමින් සියලු ජනතාව අතර සාමය සහෝදරත්වය ගොඩනැගීමේ සංහිඳියා වැඩපිළිවෙළ ඉටුකිරීම සඳහා ද රජය කැපවී සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

තම සංචාරයේදී දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් හිමිවූ උණුසුම් පිළිගැනීම පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය නායකයෙකු නිල ආරාධනයක් පරිදි රටකට පැමිණිවිට රාජ්‍ය නායකයින් එකිනෙකා හමුවූයේ නිල හමුව අවස්ථාවේදී වුව ද එම සම්ප‍්‍රදායෙන් බැහැරව කටයුතු කළ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා නිල හමුවට පෙර තමන් සමග මිත‍්‍රශීලී හමුවකට එක්වෙමින් පැයකට ආසන්න කාලයක් ගත කළේ ශී‍්‍ර ලංකාව සහ ජනතාව කෙරෙහි පවතින ගෞරවය නිසා බවයි.

2015 ජනවරම ඉටුකිරීම සඳහා අභියෝග හා බාධක නොතකා කටයුතු කිරීම වෙනුවෙන් Nam San Hall Grund Hyatt ශී‍්‍ර ලාංකික සංගමය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ අතර, දකුණු කොරියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට රැකියා බලපත‍්‍ර ක‍්‍රමයක් හඳුන්වාදීම සඳහා ගිවිසුමක් අත්සන් තැබීමට කටයුතු යෙදීම පිළිබඳව ද ස්තූතිය පිරිනැමීය. දකුණු කොරියාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, මලික් සමරවික‍්‍රම, තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් ද දකුණු කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News