කංජිපානිගේ බී වාර්තාව නීති විරෝධියි

Share

කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගෙන සිටින පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන මුල් “බී” වාර්තාව නීතිවිරෝධී බවට ඔහුගේ නීතිඥවරයා ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලබන 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වෙත නොතීසි නිකුත් කර ඇත.

සැකකාර කංජිපානි ඉම්රාන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා කරන ලද ඉල්ලීමකට අනුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය විසින් මෙම නොතිසි නිකුත් කිරීම සිදු කර ඇත්තේ.

කංජිපානි ඉම්රාන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන මුල් “බී” වාර්තාව නීති විරෝධී බව පෙන්වා දී ඇත.

මේ පිළිබඳව විමසීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති වරයා අධිකරණය හමුවට කැඳවන ලෙස ඉල්ලීමක් කළ ජනාධිපති නීතිඥවරයා දැනට අපරාධ කොට්ඨාශය භාරයේ රදවාගෙන සිටින තම සේවාදායකයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග නිකුත්කර ලෙසත් මෙම නඩුවට අදාළව කරුණු විමසීම සඳහා නීතිපතිවරයා අධිකරණය හමුවට කැඳවීමට නොතීසියක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ බී වාර්තාව පිළිබඳව කරුණු විමසීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට ලබන 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කිරීමට නියම කළේය.

එමෙන්ම පොලිසිය භාරයේ රඳවාගෙන සිටින කංජිපානි ඉම්රාන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් එම නඩුවට අදාළව කරුණු විමසීම සඳහා නීතිපතිවරයා අධිකරණය හමුවට කැඳවන ලෙසත් විත්තියේ නීතිඥවරයා කරන ලද ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 19 වන දා ප්‍රකාශයට පත් කරන බව අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේය.

Read more

Local News