Tuesday, March 19, 2024.

විදෙස් කුණු ආනයනය තහනම් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

Share

විදේශවල සිට අපද්‍රව්‍ය සහ කැළි කසල ආනයනය කිරීම තහනම් කිරීමේ නීති රාමුවක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් පනවන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර ඇත.

අදාළ සංවිධානය කියා සිටින්නේ විදේශයක සිට ආනයනය කරන ලද රෝහල් අපද්‍රව්‍ය ඇතුළු කැළි කසල අඩංගු බහලුම් සිය ගණනක් මෙරට ගබඩා කර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මෙලෙස කැළි කසල විදේශයක සිට මෙරටට ආනයනය කිරීම නීති විරෝධී බව පෙන්වා දෙන එම සංවිධානය අප ද්‍රව්‍ය ආනයනය කළ පුද්ගලයින් කවුරුන්ද යන්න හඳුනාගැනීමට බලධාරීන් මේ දක්වා කටයුතු කර නොමැති බවට ද චෝදනා කර ඇත.

විදේශ වල සිට කසළ ආනයනය කිරීම තුළින් මෙරට පරිසර පද්ධතියට විශාල අගතියක් මෙන්ම මහජන සෞඛ්‍යයට ද විශාල හානියක් සිදුවන බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

කැළි කසල විදේශවල සිට නීති විරෝධී ආකාරයෙන් ආනයනය කිරීම වැළැක්වීමට ඉවහල් වන නීති රාමුවක් සකසන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ පරිසර අධිකාරියට නියෝගයක් පනවන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම රෝහල් අපද්‍රව්‍ය සහ කැළි කසල මෙරටට ආනයනය කළ පුද්ගලයන්ට එරෙහිව නීති මඟිගින් ක්‍රියා කර ඔවුන්ට අවශ්‍ය දඬුවම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද අදාළ සංවිධානය අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

එමෙන්ම දැනට ආනයනය කොට තිබෙන රෝහල් අපද්‍රව්‍ය සා කැළි කසල වෙනත් ස්ථාන වලට බැහැර කිරීමෙන් වැළැක්වීමේ නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන මෙන් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Read more

Local News