නීති විරෝධීව මසුන් ඇල්ලූ 22ක් නාවික හමුදා බාරයට

Share

ත්‍රිකුණාමලය, කල්ලඩිචේනෙයි ප්‍රදේශයේදී ඊයේ(22) දින නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් විසිදෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කල්ලඩිචේනෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි‍ මෙහෙයුමක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 05ක්, පිටත දහන යන්ත්‍ර 05 ක් සහ තහනම් දැල් 04 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 44 ත් අතර වියෙහි පසුවන කින්නියා, ඊච්චලම්පත්තු සහ මූතුර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.

මෙවැනි තහනම් ධීවර දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර පරිසර පද්ධතිය විනාශ විමට ලක්වී ඇති බැවින්, ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල ඇති මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.

Read more

Local News