ආපදාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් සැලසිය යුතු සහන කඩිනමින් සලසන්න – අමාත්‍ය දිලිප් වෙදආරච්චි

Share

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පිඩාවට පත්ව සිටින සියළු ධීවර ජනතාව වෙනුවෙන් සැලසිය යුතු සහන කඩිනමින් සලසන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සියලු නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිය.

ධීවර කටයුතුවල නිරතව සිටියදී අතුරුදන්ව ඇතැයි වාර්තා වී ඇති ධිවරයින් සෙවීමේ කටයුතු පිලිබදව ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා  අවශ්‍ය උපදෙස් ලබාදෙමින් ධිවරයින් බේරාගැනීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගනු ලැබිය.

ධීවර දෙපාර්තමේන්තුවේ සහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂවරුන් මෙන්ම ජාතික ධීවර මහා සම්මේලනයට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා උපදෙස් දෙනු ලැබුවේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඒ ඒ දිස්ත්‍රික්ක වල ධීවර ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති පීඩාවන් හා හානි පිලිබදව වහා සොයා බලන ලෙසය.

ධීවර අමාත්‍යංශයේ ක්‍රියාත්මක යාත්‍රා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයට සහ සෝදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයට වාර්තා වන ධීවර යාත්‍රා අතුරුදන් වීම් හෝ හානි පිලිබදව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම නාවික හමුදාව සමග එක්ව එම ධීවර ජනතාව මුදාගැනීමේ කටයුතු කඩිනමින් සම්බන්ධීකරණය කරණ ලෙසද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් ලබා දී ඇත.

පවතින කාලගුණ තත්වය මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කරන කාලගුණ අනාවැකි පිලිබදව දැඩි අවධානය යොමුකරණ ලෙසත් , පවතින කාලගුණ තත්වය පහව යන තෙක් ධීවර කටයුතු සදහා මුහුදු යාමෙන් වැලකි සිටින ඒ මහතා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටි.

මීගමුවේ සිට මුහුදු සැතපුම් 35 පමණ දුරින් මාරියා 4 නමැති බහුදින ධීවර යාත්‍රාව පෙරලි අනතුරක් සිදුවී ඇතැයි වාර්තා වේ. එහි සිටි ධිවරයි 4 දෙනා කිසිදු අනතුරකින් තොරව බේරාගෙන ගොඩබිමට රැගෙන එමින් සිටි. ඊට අමතරව පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගාල්ල දොඩන්දුව ධීවර වරායේ තිබු වල්ලම් 06කට හානි සිදුව ඇතැයි වාර්තා වී තිබේ .

දොඩන්දුවේ ධීවර වරායෙන් ධීවර කටයුතු වල පිටත්ව ගිය තවත් යාත්‍රාවක සිටි ධිවරයින් 05 දෙනෙකු අනතුරට ලක්ව ඇතැයි යාත්‍රා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇති අතර එම අනතුරින් ජීවිතක්‍ෂයට පත් ධිවරයින් දෙදෙනෙකුගේ සිරුරු බලපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ ඇති බවත් සෙසු ධිවරයින් තිදෙනා අතුරුදන් ව සිටින බවටත් වාර්තා වී ඇතැයි ධීවර අමාත්‍යාංශයේ යාත්‍රා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය ගරු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වෙත වාර්තා කර ඇත.

පවතින අයහපත් කාලගුණ තත්වය පහව යන තෙක් සෙසු දිනවලට වඩා නිරන්තර අවධානය යොමුකරණ ලෙසද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අදාළ අංශවලට උපදෙස් දෙනු ලැබිය.

Read more

Local News