කළු, ගිං, නිල්වලා අවට ජනතාව පරෙස්සමෙන් – පවුල් 14617 ක පුද්ගලයන් 55855ක් අවතැන්

Share

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 14617 ක පුද්ගලයන් 55855ක් අවතැන් වී ඇති අතර පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු අතුරුදහන්ව 52 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ පුර්ණ වශයෙන් නිවාස 430ක්ද අර්ධ වශයෙන් නිවාස 11597ක්ද , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 82 ක්ද, ඉතා වැදගත් යටිතල පහසුකම් 04ක්ද හානි වී ඇති බවත් ආරක්ෂක ස්ථාන 28ක පුද්ගලයින් 3279 දෙනෙකු තාවකාලිකව රඳවා ඇති බවයි.

මාතර දිස්ත්‍රික්කයේ අකුරලිය, මාලිම්බඩ, මාතර, තිහගොඩ, කඹුරුපිටිය ප්‍රදේශවල වර්ෂාව පැවතීම හේතුවෙන් ජලය පහතට ගලා යාම නිසා ගංවතුර තත්වයක් ඇතිවිය හැකිබවත් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අදාළ ස්ථාන සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදවා ඇති අතර නිල්වලා, කළු, ගිංගඟ අවට ජනතාවත් ගංවතුර තත්වය පිළිබඳ විමසිලිමත්ව සිටින ලෙසත් අවශ්‍ය පරිදි ඉවත්වීම් සඳහා සූදානමින් සිටින ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවතැන් ජනතාවට සහන සැලසීමේ කටයුතු වල නිරන්තරව යෙදී සිටින බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. මේ අතර බදුල්ල, රත්නපුර, ගාල්ල, මාතර, නුවරඑළිය, මාතලේ, හම්බන්තොට, කළුතර යන දිස්ත්‍රික්කවල පසුගිය පැය 24තු වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති බැවින්, වර්ෂාව තවදුරටත් පවතී නම් නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසිමේ සහ පස් කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරි තැනකට යාමට සූදානම් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අගවා තිබේ.

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින (OCKHI) සුළි කුණාටුව කොළඹ සිට කිලෝ මීටර් 650 පමණ දුරින් පවතින බවත් එය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින හෙයින් දිවයින කෙරෙහි එහි බලපෑම ක්‍රමයෙන් අඩුවේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන අතර උතුර, නැගෙනහිර, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට (මි.මි. 100 වැඩි) තද වැසි ඇතිවේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන (පැ.කි.මී. 50ක් පමණ) තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read more

Local News