ජනපතිගේ විදෙස් සංචාර ගැන තොරතුරු ජනපති කාර්යාලයේ නැද්ද ?

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර පිළිබඳ තොරතුරු කිසිවක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ දිනයේ සිට (2015-01-08) මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර මොනවද යන්න පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ පුරවැසියෙකු සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය මේ බව දන්වා ඇත.

ජනාධිපතිවරයා සහභාගි වූ විදෙස් සංචාර සහ එම සංචාරවලට සහභාගි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලීම සිදුකර ඇති අතර, එම තොරතුරු නොමැති බව පවසමින් ජනාධිපති කාර්යාලය තොරතුරු ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

තොරතුරු ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ නම් කළ නිලධාරියා වන  ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතාට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, එයද ප්‍රතික්‍ෂේප කරමින් එම තොරතුරු ජනාධිපති කාර්යාලයේ නොමැති බවද සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා සම්බන්ධ තොරතුරු ජනාධිපති කාර්යාලයේ නොමැති බව සඳහන් කරමින් තොරතුරු ඉල්ලීම සහ අභියාචන ඉල්ලීම යන ඉල්ලීම් දෙකම ජනාධිපති කාර්යාලයෙන් ප්‍රතික්‍ෂේප කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read more

Local News