රට පුරා ඖෂධ හිඟයක්

Share

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් ගණනාවක පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය උග්‍ර වී ඇති බව වෛද්‍යවරුන් ඇතුලු පාර්ශව කිහිපයක් ඊයේ(01) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අනාවරණ කළේය.

ඔවුන් පැවසුවේ, අපේක්ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිවීමෙන් ඇතැම් රෝගීන්ගේ ජීවිත අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි.

එහිදී අදහස් දක්වමින් මහරගම අපේක්ෂා රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ශාඛා සමිති සංගමයේ කැඳවුම්කරු වෛද්‍ය යසින්ත රත්නායක මහතා ප්‍රකාශ කළේ පිළිකා රෝගීන්ට ලබා දෙන විශේෂ ඖෂධයක් පසුගිය කාලය පුරාවටම ලබා ගත හැකි නොවු බවයි.

එසේම සුව කළ හැකි පිළිකා තිබෙන රෝගීන්ට එම ඖෂධය නිසි කාලයේ දී ලබා නොදීමෙන් නැවත මතුවීමේ අවධානමක් පවතින බවත්, වේදනා නාශක ලෙස ලබා දෙන මෝෆීන් ඖෂධයේ හිඟතාවයක් ඇති බවත් ඔහු පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාතර මහරෝහල ශාඛාවේ ලේකම් වෛද්‍ය එස්.ජේ. ජයවික්‍රම මහතා පැවසුවේ මාතර මහ රෝහලේ පමණක් හිඟ ඖෂධ 36ක ප්‍රමාණයක් ඇති බවයි.

නිව්මෝනියාව, හෘද ආබාධවලට ලබා දෙන ඖෂධ හිඟතාවයක් ඇති බවත් හදිසි අනතුරුවලදී භාවිත කරන ඖෂධ ද හිඟ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News