රනිල්, සජිත්ට එන්න ඉඩ දෙන්නේ නෑ

Share

එළඹෙන ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා රට තුළ හදිසි තත්ත්වයක් නිර්මාණය කිරීමේ බටහිර උත්සාහයක් පවතින බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අනතුරු අඟවයි.

පක්ෂයේ කඩුවෙල ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ(04) එක්වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

ජනාධිපතිවරණය පැවැත් වුවහොත් නිසැකයෙන් මොවුන් පරාජය වන බවත්, කිසි විටෙකත් එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉඩ ලබා නොදෙන බවත් විමල් වීරවංශ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමට බලා සිටින බවත්, ඉල්ලන්න බැරි නම් කරූ ජයසූරිය මහතා ඉදිරිපත් කිරීමට නියමිත බවද වීරවංශ මහතා කියා සිටියේය.

ජනාධිපතිවරණයක් පැවැත් වුවහොත් ඔවුන්ට අවශ්‍ය කෙනා ජයග්‍රහණය කරවිය නොහැකි බව ඇමෙරිකාවට පෙනී යන බවද  පැවසු වීරවංශ මහතා, ප්‍රතිවිරුද්ධ කඳවුර දිනවීමට කිසිවිටෙකත් දිනවිය නොහැකි බවද සඳහන් කළේය.

ජනාධිපතිවරණයෙන් පැමිණියත්, බටහිර අවශ්‍යතාවය මත දිනවීමට නොහැකි නම් ඔවුන් ජනාධිපතිවරණය පැවැත්වීමට කිසි විටෙකත් කැමති නැති බවද කියා සිටි විමල් වීරවංශ මහතා, එය පැවැත්විය නොහැකි වන්නේ පළමුව ඇති කිරීමට නොහැකි වු හදිසි තත්ත්වය රට තුළ නැවත වතාවක් ඇති කිරීමෙන් බව ද පැවසීය.

එයට අවශ්‍ය වන්නේ සහරාන්ලා දෙතුන් දෙනෙක් බවද පැවසු වීරවංශ මහතා, එවැනි පුද්ගලයින් ඕනෑ තරම් සිටින බවද කියා සිටියේය.

අද වන විට වහාබි අන්තවාදය පැළ කරමින් සිටින්නේ ඒ නිසා බවද පැවසු මන්ත්‍රීවරයා, ඉදිරි මාස තුන හතර තුළ මෙම බලවේග රට තුළ මෙම හදිසි තත්ත්වය නැවත ඇති කරන බවට විශ්වාස කළ හැකි බව ද පැවසීය.

එසේ සිදුවුවහොත් අල්ලපු ගෙදර සිටින මුස්ලිම් ජාතිකයා සමඟ සටන් නොකර වහාම අරලිය ගහ මන්දිරයට යන්න සුදානම් වෙන්න යනුවෙන් ද වීරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News