තල ගෙන්වීමත් නවතා දමන බව හැරිසන් කියයි

Share

පියලි කළ උඳු, මුං ඇට, කව්පි සඳහා නව බද්ද ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ දේශිය ගොවියාව ආරක්ෂා කර ගැනීමට බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ආනයනික කුරහන් වගේම තල ආනයනයත් මෙම අවුරුද්දෙන් පසුව නවතා දමන බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති උත්සවයක් අමතමිනි.

ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නවීකරණය කරන ලද කුඩා වැව් 10ක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වැව් 22ක් නවීකරණය වේ. මේ සඳහා ලෝක බැංකුව සහ රජය රු.මිලියන 200ක මුදලක් වැය කරනු ලබයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“උඳුවලට අපි බද්දක් දාලා තිබුණා රු. 200ක. නමුත් උඳු පියළි කරලා රටට ගේනවා. ඒක අහු වෙන්නේ පරිප්පු බද්දට. බලන්න කොතරම් වෙළෙන්දා කපටිද කියලා. මම ඊට පස්සේ බද්ද වැඩි කළා. උඳු පියළි කරලා ගෙන්වනවා නම් බද්ද රුපියල් 400 දක්වා වැඩි කළා.

පියලි කළ උඳු, මුං ඇට, කව්පි සඳහා මේ බද්ද ක්‍රියාත්මක කිරීමට මම නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේ බද්ද වැඩි කළේ අපි අපේ ගොවියාව ආරක්ෂා කර ගන්න. පිටරටින් කුරහන් වගේම තල ආනයනයත් අපි මේ අවුරුද්දෙන් නවත්තනවා.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පසුගියදා සමාගමක් තල ගෙන්න ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් තල අස්වැන්න මේ දවස්වල නෙළන කාලය.

මම වහාම තල ගෙන්වන එක නවත්වන්න කියලා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නා. ලූණු සඳහාත් අපි පාලන මිලක් දැම්මා රු. 80ක.

ඒ නිසා ලොකු ලූණු බය නැතුව හිටවන්න කියලා අපි ගොවීන්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News