රංජන්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම 28 වනදා

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති පැමිණිල්ල අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාග කළේය.

සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්විය.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම්කර සිටි රූපවාහිනී මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාගේ සාක්ෂි සටහන් කරගැනීම තවදුරටත් සිදු කෙරුණි.

එහිදී සාක්ෂිකරු ප්‍රකාශ කර සිටියේ මෙම නඩුවට පාදක වී තිබෙන අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශය අඩංගු දර්ශන තම රූපවාහිනිය ඔස්සේ ප්‍රදර්ශනය කරනු ලැබූවේ හුදු ප්‍රවෘත්තියක් වශයෙන් පමණක් බවයි.

මෙම නඩුවක පාදක වී තිබෙන ප්‍රකාශය තුළ අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් සඳහන් වන්නේ එක් අවස්ථාවක පමණක් බවත් සෙසු අවස්ථාවල නීතිඥවරුන් සම්බන්ධයෙන් පමණක් සඳහන් වන බව ද වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම අදාල රූපවාහිනී මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාගේ සාක්ෂියෙන් පසුව එම ආයතනයේ කැමරා ශිල්පියෙකුගෙන් සාක්ෂි සටන් කර ගැනීමට සිදුවිය.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම මේ මස 28 වන දා තෙක් කල් තබන ලදී.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අපොස උසස් පෙළ විභාගයට සහභාගි වීම නිසා අද දින අධිකරණය හමුවේ පෙනී සිටීම අනවශ්‍ය බවට අධිකරණය විසින් මීට පෙර අවසර ලබාදී තිබුණි.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබේ.

2017 වසරේ අගෝස්තු මස 21 වනදා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර ඇතැයි පැමිණිලිකරු ප්‍රකාශ කළේය.

ඒ තුළින් අමාත්‍යවරයා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය පළුදු කිරීමට කටයුතු කර ඇතැයි චෝදනා කරන පැමිණිලිකරු ඒ තුළින් අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව කියා සිටියි.

එහෙයින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News