විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ට ගෙවන දීමනා කපා හැරලා

Share

විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ 2019.07.27 දිනැති ලිපිය මඟින් අ.පො.ස උසස් පෙළ හා 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ කටයුතු සඳහා නිලධාරීන්ට ලබාදෙන සංයුක්ත දීමනාව කපා හැර ඇති බව ලංකා ගුරු සංගමය ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

පැය 12 කට වඩා අධික කාලයක් කාර්ය ස්ථානයෙන් පිටත ගත කරන නිලධාරීන්ට ආයතන සංග‍්‍රහය අනුව සංයුක්ත දීමනාවක් හිමි වන අතර, 2018.08.21 දිනැතිව නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 20/2018 අනුව එම සංයුක්ත දීමනාව ඉහළ දමා තිබු බව එම සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ දක්වා අදාළ සංයුක්ත දීමනාව විභාග රාජකාරිවල නිරත සම්බන්ධීකරණ නිලධාරී, සහකාර සම්බන්ධීකරණ නිලධාරී හා මධ්‍යස්ථාන සේවකයින්ට එම දීමනාව හිමිව තිබුණි.

විභාග කොමසාරිස්වරයාගේ උක්ත ලිපිය අනුව සංයුක්ත දීමනාව අහෝසි කොට සම්බන්ධීකරණ නිලධාරියෙකුට රු.600/- ක්, සහකාර සම්බන්ධීකරණ නිලධාරියෙකුට රු.500/- ක්, මධ්‍යස්ථාන සේවකට රු.300/- ක් ලෙස සොච්චම් දීමනාවක් ගෙවීමට නිර්දේශ කර ඇති බව ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එහෙත් උක්ත චක‍්‍රලේඛය අනුව මාසික මූලික වැටුප රු.32,779 දක්වා ලබන නිලධාරීන්ට සංයුක්ත දීමනාව රු.700/- ක් ද, මූලික වැටුප රු.32,780 සිට රු.43,479 දක්වා ලබන නිලධාරීන්ට සංයුක්ත දීමනාව රු.800/- ක් ද, රු.43,480 ට ඉහළ මාසික මූලික වැටුපක් ලබන නිලධාරීන්ට සංයුක්ත දීමනාව රු. 1000/- ක් ද ලබාදිය යුතු අතර, පැය 24 ට වැඩිනම් 50% ක අමතර දීමනාවක් ද ගෙවිය යුතුය.

20/2018 චක‍්‍රලේඛය මගින් රාජ්‍ය නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව ඉහළ දමා තිබියදීත් විභාග රාජකාරි සඳහා ලබාදෙන සංයුක්ත දීමනාව මෙලෙස අහෝසි කිරීමෙන් විභාග රාජකාරි කටයුතුවල නිරතවන නිලධාරීන්ට බරපතළ අසාධාරණයක් සිදු වේ.

මේ තත්ත්වය තුළ විභාග රාජකාරි කටයුතුවල නිරත නිලධාරීන්ට මෙතෙක් ගෙවන ලද සංයුක්ත දීමනාව අහෝසි කිරීම වෙනුවට රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 20/2018 අනුව සංයුක්ත දීමනාව විධිමත්ව ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News