ජනතා විරෝධයක් තිබේ නම් සීතාවක ගඟ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය නවතා දමන්න

Share

සීතාවක ගඟ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් අදාළ ප්‍රදේශයට කිසිඳු අහිතකර පාරිසරික බලපෑමක් සිදු නොවන බව සීතාවක ගඟ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිබාර නිලධාරීන් පවසයි.

කෙසේ වෙතත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ ප්‍රදේශයේ සංවර්ධනයට අකමැතිනම් හෝ සීතාවක ගඟ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ජනතා විරෝධයක් තිබේනම් ව්‍යාපෘතිය නවතා දමන්න ලෙසයි.

සීතාවක ගඟ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් අදාළ ප්‍රදේශයට ගංවතුර, නායයාම් වැනි පාරිසරික තර්ජන එල්ල වියහැකි යැයි පවසමින්, ප්‍රදේශවාසීන් විසින් මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පලකර තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර සුදුසු විසදුමක් ලබාගැනීමේ අරමුණෙන්, හිටපු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම්, ව්‍යාපෘතිබාර නිලධාරීන් ඇතුලු පිරිසක් පසුගියදා අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවීමට එම අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණියහ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් දිගුකාලින ජනන සැලැස්ම සකස් කරනු ලබන්නේ අවම පිරිවැයක් යටතේ විදුලිය ජනනය කිරිමටය.

එහිදී ජලය, සුළග, සූර්යතාපය, ගල් අගුරු, ඩීසල්, දැවිතෙල්, ගෑස් වැනි විවධ ප්‍රභවයන් භාවිතය ජාතික පද්ධතියේ අවශ්‍යතාවය සහ පිරිවැය මත සලකා බැලේ.

වසර 2015-2034 ජනන සැලැස්ම අනුව සීතාවක ගඟ ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදිකර වසර 2022 දී ජාතික පද්ධතියට වසරකට ගිගාවොට් පැය 54 ක් ඒක කිරීමට ඇස්තමෙන්තු කර තිබේ.

මේ වනවිට සීතාවක ගඟ ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ පාරිසරික අධ්‍යයන වාර්තාව සකසා පරිසර අධිකාරිය වෙත යොමු කර තිබේ. සීතාවක ගඟ ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියෙහි ජලාශය වෙනුවෙන් යටවන භූමි ප්‍රමාණය අක්කර 98 කි.

ඉන් වැඩි කොටසක් එනම් අක්කර 56 ක් සීතාවක ගඟම වේ. ඉතිරි බිම් ප්‍රමාණයෙන් අක්කර 22 ක් ලලාන් වැවිලි සමාගමට අයත්වන අතර පුද්ගලික ඉඩම් යටවන්නේ අක්කර 16 ක් පමණි ඉතිරිය ප්‍රාදේශීය ලේකම් දෙහිඕවිටට අයත් රජයේ ඉඩම් වේ.

සීතාවක ගඟ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වන නිවාස නොවන ඉදිකිරීම වන්නේ රූකාසල් පාලම සහ එහි ප්‍රවිෂ්ඨ මාවත පමණි.

මේ සඳහා පහසුවෙන් වාහන වලට යා හැකි කොන්ක්‍රීට් පාලමක් සහ ප්‍රවිෂ්ඨ මාවත ඉදිකිරීම සදහා රු. මිලියන 150 ක් වෙන්කර තිබේ.

ඉහත බලපෑමට ලක්වන කොටසට අමතරව දීගල මාර්ගයෙන් නිරන්තරයෙන් ජල ගැලීමට ලක්වන 40 කඩේ හන්දියේ සිට කි.මී. 01 ක් පමණ පිළිසකර කිරීමට කටයුතු සලසා ඇත.

තවද උඩයෝගම සහ මල්දෙනිය යාකරමින් නව පාලමක් ඉදිකිරීම සහ ඉරහඳ පාන අසලට පහසුවෙන් යාහැකි මාර්ගයක් ඉදිකිරීම වැනි ප්‍රතිලාභ රැසක් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයට හිමිවේ.

ව්‍යාපෘතිබාර නිලධාරින් පවසන ආකාරයට මෙම සීතාවක ගඟ විදුලිබලාගාර ව්‍යාපෘතිය මගින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිසිදු ප්‍රදේශයකට දැනට ඇතිවන ගංවතුර තත්ත්වයන්ට අතිරේකව කිසිදු බලපැමක් ඇති නොවන බවත්, දැරණියගල ප්‍රදේශයේ ගංවතුර ගලා බැසයාමට කිසිදු බාධාවක් ඇති නොවන බවත්, මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ජලාශයෙන් පහල ප්‍රදේශ වලට අතිරේක බලපෑමක් සිදුනොවන බවත් සහතික කර තිබේ.

ඉදිකිරිමට යෝජිත සීතාවක ගඟ ජල විදුලිබලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රයට, රටට මෙන්ම අදාළ ප්‍රදේශයට ප්‍රතිලාභ රැසක් හිමිවීමට තිබියදීත්, ඒ සදහා විරෝධතා දක්වන්නේනම්, අදාළ ව්‍යාපෘතිය ඉදිකිරීම නවතා දැමීමට කටයුතු කරන ලෙස විෂයබාර අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

අදාළ බලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාසිකව පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡාවන් නොපැවැත්වීම හේතුවෙන් මෙසේ දෙපාර්ශවය අතර මෙසේ යම් යම් විරෝධතා පැනනැගි ඇති බව පැමිණි ජනතා නියෝජිතයන් පැවසූ අතර හැකි ඉක්මණින් අදාළ සාකච්ඡා පවත්වා පැහැදිළි නිගමනයකට පැමිණීමට කටයුතු කරන ලෙස විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා ව්‍යාපෘතිබාර නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

Read more

Local News