බැසිල්ට එරෙහි නඩු විභාගය ඔක්තෝබර් මසට කල්යයි

Share

ඉකුත් ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක මුද්‍රණය කිරීම සඳහා දිවිනැඟුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කර හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක විභාගය ඔක්තෝබර් මස 14 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද(07) නියෝග කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන මෙන් ඉල්ලමින් තම සේවාදායකයා ඉදිරිපත් කළ පෙත්සමක් විභාග අභියාචනාධිකරණය එහි තීන්දුව සැප්තැම්බර් මස 27 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බවයි.

එතෙක් මෙම නඩුව විභාගයට නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බවද විත්තියේ නීතිඥවරු දැනුම් දුන්නේය.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ විභාගය ඔක්තෝබර් මස 14 වනදා දක්වා කල් තැබීමට තීන්දු කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අය නම් කර තිබේ.

Read more

Local News