ජීව විද්‍යාව විෂය සම්බන්ධ ගැටලුව නිරාකරණය කරලා

Share

ජීව විද්‍යා විෂය නිර්දේශය සම්බන්ධයෙන් තිබු ගැටලුව අදාළ නිලධාරීන්වන සමඟ සාකච්ඡා කර නිරාකරණය කර අවසන් බව අධ්‍යාපන අමාත්‍යවරයා අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, එහි ශාස්ත්‍රීය සභාවේ සභාපති, විෂය නිර්දේශයට අදාළ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය අධ්‍යක්ෂවරු, විභාග කොමසාරිස් ජනරාල් ඇතුලු සියලුම පාර්ශව මෙන් ම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයත් කැඳවා, පවතින විවේචන පිළිබඳ ව පැය තුන හතරකට අධික කාලයක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා කළ නිවේදනයේ සඳහන් වේ.

නමුත් එහිදි ,මාධ්‍ය ඇතුලු නොයෙක් දෙනා ජීව විද්‍යා විෂය නිර්දේශය පිළිබඳව ප්‍රකාශ කරන දේ යථාර්ථයක් නොවන බව පැහැදිලි වූ බැවින්,  එම ගැටලුව එදිනම විසඳීමට අවශ්‍ය පියවර ගත් බව ද අමාත්‍යවරයා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ, ජීව විද්‍යා විෂය නිර්දේශයේ ගැටලු පවතින බව සඳහන් කරමින් ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා විසින් නඟන ලද වාචික අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ, ජීව විද්‍යා විෂය නිර්දේශය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ පමණින් ගැටලුවක් තිබේ යැයි අදහස් කළ නොහැකි බවත්, විශේෂයෙන් ම අධ්‍යාපනය නවීකරණය වනවිට විෂය නිර්දේශය වෙනස් වන බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,

“2015 බලයට පැමිණෙන විට විෂය නිර්දේශ සැකසීමට යම් යම් ගුරුකුල හදාගෙන සිටි බවත්, ඔවුන් විෂය නිර්දේශ යාවත්කාලීන නොකර ටියුෂන් පංතියට අවශ්‍ය විදියට සැකසූ බවත්, බොහෝ විට ප්‍රශ්න සකසන්නේ ද විෂය නිර්දේශයට ඇතුළත් කරමින් බව පවසා සිටි අමාත්‍යවරයා,  “ප්‍රශ්න පත්‍ර 5 ක් විතර ගත්තාම අපි දන්නවා එන ප්‍රශ්න මොනවාද කියලා.

දැන් මේවා ඔක්කොම වෙනස් කර ගෙන යන්නේ. එතකොට මේ විෂය සම්බන්ධයෙන් නෙවෙයි, ජනමාධ්‍ය විෂය සම්බන්ධයෙනුත් ප්‍රශ්න ආවා. එතකොට එක මහාචාර්යවරයෙක් ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් ප්‍රශ්න පත්‍ර හදද්දී තව කණ්ඩායමක් කියනවා ඒක නෙවෙයි අරකයි එන්න ඕනේ කියලා. ඒ වගේ විවිධ මත සහ විවිධ දේවල් තියෙනවා” යනුවෙන් පවසමින්, වර්තමානයේ ඒ ආකාරයට විෂය නිර්දේශ සකස් නොකර විෂය නිර්දේශ වෙනස් කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය වූ විට එම වෙනස්කම් සිදු කළ යුතු බවට ප්‍රකාශ කළ අමාත්‍යවරයා, සමහර ගුරුවරු වෙනසක් කරන්න අකමැති බවත්, නවීකරණයට අකමැති බවත් පවසන ලදී.

තමන් විශ්වවිද්‍යාලයට යන කාලේ පැරණි සටහන් ඉගැන්වූ ආකාරය සිහිපත් කළ අතර ජීව විද්‍යාව විෂයයේ සිට සියලුම විෂයයන් වෙනස් වියයුතු බව සඳහන් කළේය.

එමෙන් ම ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් නොවන මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා බැවින්, ඔහු එලෙස පත් කළේ අලුතින් හිතන, කවුරුත් පිළිගන්න, අපි බලාපොරොත්තුවන ආකාරයට අධ්‍යාපනයේ වෙනස්කම් කරන්න පුළුවන් කෙනෙක් නිසාවෙන් බව පවසා සිටියා.

ජයදේව උයන්ගොඩ මහාචාර්යවරයාගේ සහභාගිත්වයත් ඇතිව ජීව විද්‍යා විෂය සම්බන්ධයෙන් පවතින ගැටලුව  නිරාකරණය කර ඇති බැවින්, ටියුෂන් වලට ඕනෑ ආකාරයට හෝ ගුරුවරුන් ට උගන්වන්න ලෙහෙසි ආකාරයට විෂය නිර්දේශ සකසන්නේ නොමැති බව අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

2019 වසරේ සිට ජීව විද්‍යාව විෂය ධාරාවෙන් අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් ට 2017 වසරේ සිට නව විෂය නිර්දේශය හඳුන්වා දී ඇති බවත්, එහි පිටපත් සිංහල, දෙමළ හා ඉංග්‍රිසි භාෂා තුනෙන් ම ලබා දී ඇති බවත්, නව විෂය නිර්දේශය සඳහා ගුරු පුහුණුව  හා ගුරු මාර්ගෝපදේශ ලබා දී නැති පාසල් තිබේ නම් ඒ පිළිබඳව තමන් ට දැනුම් දුනහොත් විමර්ශනයක් සිදු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News