ගාමිණී සෙනරත් ලිට්‍රෝ ගෑස් නඩුවෙන් නිදොස් කොට නිදහස්

Share

ඉකුත් රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු  නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළේය.

සම්පත් අබේකෝන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ විත්තිකරුවන්ට පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා පවත්වාගෙන යාමට පදනමක් නොමැති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය.

2014 වසරේ පෙබරවාරි මස පළවනදා සහ 5 වසරේ ජනවාරි මස 19 වන දා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් canwill holdings සමාගම හරහා හෙලෙන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින්ම එම මුදල සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක යදාස කුඩාබාලගේ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරි ලසන්ත බණ්ඩාර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි.

Read more

Local News