පුනරුත්ථාපනය වු තරුණ තරුණියන් 12000 සඳහා වෘත්තීය පුහුණුව ලබා දිය යුතුයි

Share

උතුරු හා නැගෙනහිර පළාත්වල පුනරුත්ථාපනය වු තරුණ තරුණියන් සඳහා විදිමත් වෘත්තීමය රැකියා ලබා ගැනීම සඳහා ඔවුන්ට වෘත්තීය පාඨමාලා හැදෑරිය හැකි පහසු ක්‍රමවේද සොයා බලා කටයුතු කරන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවැසූයේ වෘත්තීය පාඨමාලා සහ පුහුණු ආයතනයන්හි ප්‍රධානීන්ගේ රැස්වීමක් ඊයේ(08) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,

“උතුරු හා නැගෙනහිර පළාත්වල පුනරුත්ථාපනයවු තරුණ තරුණියන් 12000 ක් පමණ සිටිනවා. ඔවුන් සමාජගතවෙලා යහපත් ජීවිතයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම හා හැකියාවන් කුසලතාවයන් පිළිබඳව නිසි අධ්‍යනයක් කළ යුතුයි. ඔවුන්ට වෘත්තීමය ගරුත්වයක් ලබා දිය යුතුයි.

රැකියාවකට පිවිසීමේදී ඔවුන්ද අනෙක් තරුණ තරුණියන් මෙන් තරඟකාරී රැකියා සඳහා යොමුවිය යුතුයි. උතුරු හා නැගෙනහිර සංවර්ධනයේදී ඔවුන්ගේ දායකත්වය ඉතා වැදගත්.

ඒ නිසාම අපි දැනට සකස්කර තිබෙන පාඨමාලා ඔවුන්ට සංකීර්ණවිය හැකියි. ඔවුන්ටත් පහසුවෙන් ඔවුන් කැමති පාඨමාලා ඉගෙනීමට අවශ්‍ය පරිසරය විදිමත්ව සකස්කළ යුතුයි.

ඒ සදහා පාඨමාලා සංශෝධනය කර ඔවුන්ට පහසු ලෙස මේ පාඨමාලා ඒ ඒ ප්‍රදේශයන්හි පැවැත්වීමට කටයුතු කළ යුතුයි.

ඒ සදහා අමාත්‍යාංශයේ සියලුම ආයතන එකතුව, පුද්ගලික අංශයේද සහය ලබාගෙන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස මා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ සඳහා කෙටි කාලීන් පාඨමාලා, එක්දින පුහුණු වැඩසටහන් වැනි ඔවුන්ට සහභාගිවිය හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස්කල යුතුයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල අමාත්‍යාංශය මගින් ලබාදිය හැකි යැයිද“ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News