එදා රටේ පැවති මහත්මා දේශපාලනය අද නෑ

Share

එදා රට තුළ පැවති මහත්මා දේශපාලනය වර්තමානයේ නොමැති බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පස්වරුවේ මොරටුව බෞද්ධ මන්දිරයේ පැවති ටිරෝන් ප්‍රනාන්දු මහතාගේ 78 වන ජන්මදින සැමරුම නිමිත්තෙන් ගැබිණි මාතාවන් 600 කට අවශ්‍ය උපකරණ ලබාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“එදා රටේ පැවති මහත්මා දේශපාලනය අද නැහැ. අද ජනතාව හිතන්නේ සෑම ප්‍රශ්නයකටම හේතුව දේශපාලනය කියලා.

දේශපාලන ව්‍යුහය අද ඒ තත්ත්වයට පත් වෙලා. එදා දේශපාලඥයෙක් ලගට ගැටළුවක් රැගෙන ගියාම ඒකට විසදුමක් ලබා දෙනවා. ඒත් අද දේශපාලඥයෙක් ලගට විසදුමත් අරගෙන ගියත්, ඒකත් ප්‍රශ්නයක් බවට පත් කරනවා.

අන්න ඒකයි අද තිබෙන වෙනස. ඒකයි අද ජනතාව තුළ දේශපාලඥයා තිත්ත චරිතයක් වෙලා තිබෙන්නේ.

ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න එකතු වෙනවා මිසක් විසදුම් ලබාදෙන්නේ නැහැ. ඒ නිසා ජනතාව හිතන්නේ මුන් ඔක්කොම හොරු කියලා” යැයි ප්‍රකාශ කර සිටියේය.

“ටිරෝන් ප්‍රනාන්දු වැනි දේශපාලඥයින් අද නැතිවීම රටට විශාල පාඩුවක්. එතුමා සිය දේශපාලන ජිවිතයට අතිවිශිෂ්ට සේවයක් කල පුද්ගලයෙක්.

ඒ නිසාම තමයි එතුමාගේ 78 වෙනි ජන්ම දිනය සමරණ මේ අවස්ථාවේ සහභාගිවීම ඉතා වැදගත් කියලා මම සිතුවේ.

1977 බිහිවූ දේශපාලඥයින් අතරින් ඉතාමත් දක්ෂ මනුෂ්‍ය භාවයක් තිබෙන සහ ප්‍රශ්නක් ආවම විසදුමක් සොයන්න පුළුවන් දේශපාලඥයෙක් තමයි ටිරෝන් ප්‍රනාන්දු කියන්නේ.

ඒ සමයේ බිහිවූ දේශපාලඥයින් රටේ විශාල පෙරලියක් ඇතිකලා. එදා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේදී එක් එක් ආසන වලට අවශ්‍ය නායකත්වය සොයා බලා, ඒ ඒ පුද්ගලයින් යෙදවීම තුළින් පක්ෂය ලබාගත් ජයග්‍රහණ අද දක්නට නැහැ.

අපි අද වඩාත් තියුණු තරඟයක් තුළින් තමයි ගමන් කරන්නේ. ඒ නිසා මේ පරිවර්ථනය ඇතිවන අවස්ථාවේදී ජනතාව කළ යුත්තේ, සුදුසු දේශපාලඥයින් ඉලක්ක කරලා පත් කරගන්න එකයි.

ජනතාව විසින් නියෝජිතයින් 225 ක් පත් කරන්නේ, ජනතාව නියෝජනය කරලා, ඔවුන්ගේ ප්‍රශ්න වලට විසදුම් ලබාගන්නයි. නමුත් දවසින් දවස ජනතා විශ්වාසය කඩවී යනවා.

ලංකාව ලෝකයට එක් කරන්න නම්, ලෝකය යන ගමනම මේ පුංචි ලංකාවත් යායුතුයි. නමුත් ඒ යන ගමන අපේ සංස්කෘතිය, ජාතිකත්වය මෙන්ම ආගමික පසුබිම ආරක්ෂා කරගෙන ගමන් කළයුතුයි.

මේ සිංහල බෞද්ධ රටේ අනෙක් ජාතීන්ට මෙන්ම සෙසු ආගම් අදහන්නන්ට නිදහසේ ජීවත්වීමේ ආගම ඇදහීමේ අයිතිය තහවුරු කළ යුතුයි. අන්න ඒ වගේ පාලනයක් තමයි එදා ටිරෝන් ප්‍රනාන්දු මහතා ගෙන ගියේ. එදා මොරටුවේ අන්තවාදයක් තිබුණේ නැහැ. කොළඹත් ඒ ආකාරයයි. වර්ථමානයට අවශ්‍ය වන්නේත් එවැනිම පාලන ක්‍රමයක් තමයි.

නමුත් අද ඒ තත්ත්වය අපෙන් ඈතට යනවා. මේ මොහොතේ රට ඉතා අමාරු අවස්ථාවක තිබෙන්නේ. නමුත් සෑම ප්‍රශ්නයකටම විසදුමක් තිබෙනවා. ඒ නිසා ප්‍රශ්න වලට නියම විසදුම ලබාදිය හැකි නායකයා කවුද කියලා හොදින් සිතා බලා පත් කිරීම තුළින් තමයි රට සාර්ථකව ඉදිරියට ගෙනයා හැක්කේ.

ලෝකය වානිජකරණය වෙලා තියෙන අවස්ථාවක, සීමිත සම්පත් වලින් අසීමිත ඉල්ලිම් සපුරාලීමේදී  ලංකාව සීග්‍ර සංවර්ධනයකට ගමන් කරන්නේ කොහොමද කියලා අපි හිතන්න ඕන.

මේ අවස්ථාවේ රටේ ආරක්ෂාව ගැන තමයි ප්‍රමුඛත්වයෙන් හිතන්න ඕන. දෙවනුව හිතන්න ඕන රටේ ජාතික ආර්ථිකය පිළිබදවයි.

තුන්වන සාධකය තමයි තරුණ පරපුර. ඔවුන් රටට, රටේ සංවර්ධනයට ඉතාමත් වැදගත්. ඔවුන්ගේ සහජ හැකියාවන් වලට අවස්ථාව දීම තුළින් රට සංවර්ධනය කළ හැකියි” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News