ප්‍රගීත් එක්නැලිගොඩගේ නඩු විභාගයට නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

Share

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා මරා දැමීමේ චෝදනා මත යුධ හමුදා බුද්ධි අංශ නිලධාරින් පිරිසකට එරෙහිව ගොනු කිරීමට නියමිත නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

මහත් ආන්දෝලනයකට සහ දැඩි මතභේදයකට තුඩු දුන් මෙම නඩු කටයුත්ත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සුදුසු බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් නිගමනය කිරීමෙන් අනතුරුව මෙම ඉල්ලීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

2010 වසරේ ජනවාරි මස 24 වනදා සහ එම මස 27 වන දා දක්වා කාලසීමාව තුළ බත්තරමුල්ල ප්‍රදේශයේ දී පැහැරගනු ලැබූ ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ හමුදා කඳවුරේ රඳවා තබා අයුතු ලෙස සිරකර තබා ඔහුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් එම හමුදා කඳවුරේ සේවය කළ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා 17 ක් ගොනු කිරීමට තීරණය කර තිබේ.

දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම නඩු කටයුත්ත ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට සුදුසු බවට නීතිපතිවරයා විසින් තීරණය කර තිබේ.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 (4) වන වගන්තිය යටතේ ජූරි සභාවක් නොමැතිව මහාධිකරණ විනිසුරුවරුන් තුන්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු කටයුත්ත විභාග කිරීම සඳහා විනිසුරු මඩුලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත කළ ඉල්ලීම සඳහන් වන බවද රජයේ අධිනීතිඥ  නිෂාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් සඳහන් කළාය.

Read more

Local News