ශ්‍රී ලංකාවාසී ජනතාවට හෙට ඓතිහාසික දිනයක් වන බව මහින්දානන්ද කියයි

Share

ශ්‍රී ලංකාවාසී ජනතාවට හෙට(11) රටේ අනාගත නායකයා නම් කරන ඓතිහාසික දිනයක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද(10) නාවලපිටියේ පිහිටි මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති මාධ්‍යය හමුවකදීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණේ නායකත්වය හෙට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන අතරම 2020 ජනාධිපති අපෙක්ෂකයා නම් කිරීමේ ඓතිහාසික දිනය හෙට බවත් සියලු ලක් වාසීන්ට එම ජයග්‍රහණය සැමරීමට එකතු වන ලෙසත් ඒ මහතා කියා සිටියේය.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට උතුරු නැගෙනහිර ඇතුළු වතුකරයේ දේශපාලන නායකයන් සහයෝගය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.

ජාතික ආරක්ෂාවට වගකිව නොහැකි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ වන විට කොටස් පහකට කැඩි ඇති බවත්, කිසිසේත්ම එම බෙදීම තුළ සන්ධානයක් ගොඩනැගීමට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝගයක් විය හැකි ජනාධිපති අපෙක්ෂකයෙකු නම් කිරිමට නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

රට ගොඩනැගීමට සුදුසුකම් ඇති මේ රටේ එකම ජනාධිපති අපෙක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහුට සම කළ හැකි කිසිදු නායකයෙකු අද රටේ නැති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කියා සිටියේය.

Read more

Local News