නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් සීරුවෙන්

Share

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

ඒ අනුව, දකුණු පළාතේ තවලම සහ නෙළුව ප්‍රදේශයන්හි සහ සබරගමුව පළාතේ රත්නපුර ප්‍රදේශයේ නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් අනුයුක්ත කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදා මැරීන් බලකාය, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU), විශේෂ යාත්‍රා බලඝණය සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් අනුයුක්ත කර ඇත.

තවද, පසුගිය දින කිහිපය පුරාම ගංවතුර ආපදාවකදී සිදුවිය හැකි ව්‍යසනකාරී තත්වයන් අවම කර ගැනීම සඳහා පෙර සූදානමක් වශයෙන් නාවික හමුදාව දිවයිනේ විවිධ ප්‍රදේශවල අපද්‍රව්‍ය එකතු වී ජලය බැස යාම අවහිරවී තිබූ පාලම්, ඇළවල් සහ බෝක්කු පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

එමෙන්ම රටේ ඇතිවන ඕනෑම ආපදා තත්වයකදී මහජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.

Read more

Local News