ගිලන් රෝගීන් ප්‍රවාහනයට නවීන බෝට්ටු දෙකක්

Share

සෞඛ්‍ය සේවාවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය කරමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක උතුරු පළාත් සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (15) උතුරු පළාතේ රෝහල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඒ අනුව ඊයේ දින ඩෙල්ෆ්ට් දිස්ත්‍රික් රෝහල, නයිනතිවු දිස්ත්‍රික් රෝහල, අනලතිව් ප්‍රාදේශීය රෝහල, කයිට්ස් මූලික රෝහල, වේලනයි ප්‍රාදේශීය රෝහල යන රෝහල්වල රෝහල් සංවර්ධන කටයුතු නිරීක්ෂණයට ලක් කරන ලදි.

මෙම නිරීක්ෂණ චාරිකාවේ එක් විශේෂත්වයක් වුයේ මෙම බොහෝ රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සනිටුහන් වීමයි.

ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි ඩෙල්ෆ්ට් දිස්ත්‍රික් රෝහලේ රුපියල් මිලියන 18.2 ක වියදමින් ඉදිකෙරෙන මාතෘ සායන ගොඩනැගිල්ල, රුපියල් මිලියන 07 ක වියදමින් ඉදිකෙරන වාට්ටු සංකීර්ණය, රුපියල් මිලියන 02 ක වියදමින් ඉදිකෙරන මෘත ශරීරාගාරය, රුපියල් මිලියන 06 ක වියදමින් ඉදිකරන ලද වෛද්‍ය නිල නිවාස සංකීර්ණය ද සෞඛ්‍ය අමාත්‍යවරයා පළමුව නිරීක්ෂණයට ලක් කරන ලදි.

ඩෙල්ෆ්ට් දූපතේ 5750 ක පමණ ජන ගහනයක් ජීවත් වන අතර, පවුල් 300 ක් මෙම රෝහලෙන් සෞඛ්‍ය සේවාවාවන් ලබාගනී.

අනලතිව් ප්‍රාදේශීය රෝහල නිරීක්ෂණය කිරීමෙන් පසු නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේ දී නිලධාරීන් පෙන්වා දෙන ලද්දේ හදිසි අවස්ථා වල දී දූපත්වල පිහිටි රෝහල්වල සිට මුහුදු මාර්ගයෙන් රෝගීන් ප්‍රවාහනයේ දී මහත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇති බවයි.

ඒ පිළිබඳ අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ගැඹුරු මුහුද සහ රළු මුහුදු මාර්ග ඔස්සේ රෝගීන් ප්‍රවාහනයට සිදුවන බැවින් කඩිනමින් ගිලන් බෝට්ටු දෙකක් මෙරට දී නිෂ්පාදනය කර ලබාදීම සඳහා රුපියල් මිලියන 15 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

Read more

Local News