මේ ආණ්ඩුව දිහා බැලුවා නම් පුදුම ආණ්ඩුවක්

Share

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් හෝ පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හෝ නොමැතිව වූවද රට තුළ විශාල සංවර්ධනයක් පසුගිය වසර 05 තුළ සිදුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුරුණෑගල මාවතගතම ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ(18) මේ බව සඳහන් කළේය‍.

ආණ්ඩුව විශාල වැඩ කොටසක් සිදු කර ඇතැයි පැවසු අගමැතිවරයා, මෙවැනි දේවල් සිදු කරනු ලැබුවේ ඉතා අසීරු කාලයක බවද පැවසීය.

“මේ ආණ්ඩුව දිහා බැලුවා නම් පුදුම ආණ්ඩුවක්“ යැයි පැවසු අගමැතිවරයා, පළමු වතාවට බහුතරයක් පාර්ලිමේන්තුව තුළ නොතිබුණ බවද කියා සිටියේය.

අනෙක් විශේෂත්වය වන්නේ සෙසු ආණ්ඩු මෙන් ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය එක් පක්ෂයක නොවීම බවද පැවසු අගමැතිවරයා, තමාගෙන් මේ ආණ්ඩුව ගෙන යා හැකි ද යන ප්‍රශ්නය බොහෝ අය ඇසු බවද පැවසීය.

මීට පෙර පැවති ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් පැවති බවත් පැවසු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, නමුත් රටේ ප්‍රශ්නවලට මුහුණ දීමට නොහැකි නිසා අවුරුදු දෙකක් අඩු කර ඡන්දයකට ගිය බවද  කියා සිටියේය.

බලය දෙනවා නම් තමා මඟ දී හැර දමා නොයන බව සිතු බවත් පැවසු අගමැතිවරයා, අද වන විට බහුතරයක් නොමැති ආණ්ඩුවක් වුවත් වෙනත් ආණ්ඩුවලට කළ නොහැකි බොහෝ දේ කර ඇතැයි ද පැවසීය.

ඊළඟ සැරේ බහුතරය ලබා ගෙන සියලු තනතුරු ලබා ගෙන ස්ථාවරභාවය ලබා ගත් විට මීට වඩා දහ ගුණයක දියුණුවක් පෙන්විය හැකි බවද  අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News