සැප්තැම්බර්යේ නිල වශයෙන් බිහිවන සන්ධානය මෙන්න

Share

ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවා ජනතා අභිලාෂයන් ඉටු කරලීම සඳහා වන දැවැන්ත දේශපාලන සන්ධානය ‘ශ්‍රි ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ’ නමින් සැප්තැම්බර් මාසය තුළ නිල වශයෙන් බිහි වනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

ඊයේ(22) ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ලංකා සම සමාජ පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ දැනටමත් අත්සන් කර ඇති ඇක්සා ගිවිසුම ක්‍රියාත්මක වීම නතර කිරීම, සෝෆා, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යන ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීම සඳහා ගත යුතු ඒකාබද්ධ ක්‍රියාමාර්ග මෙනවාදැයි යන්නට මෙහිදී විශේෂ අවදානය යොමු වූ බව ද වීරවංශ මහතා මෙහිදී පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය ගෙන එන ඕනෑම අපේක්ෂකයකු පැරදවීමට මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව පෙළගැසෙමින් සිටින බවත් එය මේ රටට ජාතික ආරක්‍ෂාව, ආර්ථික සංවර්ධනය හා සතුට යළි ගෙන ඒමටනම් අනිවාර්යෙන්ම කළ යුතු දෙයක් බවත් ජානිපෙ නායකවරයා සඳහන් කළේය.

ඉහත සාකච්ඡාවේදී ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ මහතා ‘රටට නව මාවතක්’ නම් වූ තම පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙළ විමල් වීරවංශ මහතාට පිළිගැන්වීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර, ප්‍රියංගා කොතලාවල, ලංකා සම සමාජ පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරමින් හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත, අනිල් සොයිසා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

Read more

Local News