වෙල්ගමගේ ප්‍රතිශෝධන පෙත්සම් නියෝගය සැප්තැම්බර් මස ප්‍රකාශයට

Share

අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවකින්ම තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක නියෝගය සැප්තැම්බර් මස 12 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ ලිඛිත දේශන සැප්තැම්බර් මස 05 වනදා ඉදිරිපත් කර ලෙසයි විනිසුරුවරයා කුමාර වෙල්ගම මහතාගේ පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේය.

අල්ලස් කොමිසමට අදාල ලිඛිත දේශන 10 වනදා ඉදිරිපත් කරන මෙන්ද විනිසුරුවරයා එම කොමිසමේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව මෙම පෙත්සමට අදාළ නියෝගය සැප්තැම්බර් මස 12 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරු කුලතුංග මහතා නියෝග කළේ.

කුමාර වෙල්ගම මහතා කියා සිටින්නේ තමා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදු කළබව චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවයි.

එම නඩුව ගොනුකර තිබෙන ආකාරය නීති විරෝධී යැයි සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව දිගටම විභාගයට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බවද කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීන්දුව නීතිවිරෝධී යැයි තීරණය කොට තමන්ව එම නඩුවෙන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයා සිය ප්‍රතිශෝධන පෙත්සම හරහා කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News