කළුගන්තොට සිංහයා ජනාධිපති අපේක්ෂකයෙක් වෙයිද ?

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන්ට තරග කරන ලෙස ඉල්ලීමක කළොත් තමන් ජනාධිපතිවරණයට තරග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

කොළඹ මහාධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

තමා කිසිදු විටෙක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කිරීමට ඉදිරිපත් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යම් හෙයකින් ඔහුට සහාය පල කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගත හොත් ඒ සඳහා විරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සමඟ ඉදිරියේ දී තමන් තීරණයක් ගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

එසේම ඉදිරිපත් වන අපේක්ෂකයින් පිළිබඳව දැනට කිව නොහැකි බැවින් තමන් සහාය පල කරන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න කිව නොහැකි බවත් වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය වැරදි ආකාරයෙන් ආර්ථිකය මෙහෙයවු බවටත් ඒ මහතා චෝදනා එල්ල කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳ තමන් මෙතරම් බියක් දක්වන්නේ කුමන හේතුවක් නිසාදැයි මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ තමන් ගෝඨාභය මහතාට කිසිදු බියක් නොදක්වන බවත් ජනතාව තමන්ට ජනතාව ආමන්ත්‍රණය කරන්නේ “කළුගන්තොට සිංහයා” යනුවෙන් බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News