අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ජාතික පාසල්වලට උපදෙස්

Share

ශ්‍රී ලංකාවේ සියලු දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ සම අයිතිය තහවුරු කරමින් ළමා නිවාසවල දරුවන්ට ද ආසන්නත ම ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමා පසුගිය දා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන් ම එසේ ඇතුළත් කරගන්නා දරුවන්ට ද සෙසු දරුවන්ට මෙන් සමානත්වයෙන් සැලකීමට පියවරගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

ඒ අනුව, රජයේ ලියාපදිංචි වී ඇති ළමා නිවාසවල සිටින දෙමව්පියන් අහිමි දරුවන්ට ළඟම පිහිටි ජාතික පාසලට ඇතුළත් වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2019-07-31 දිනැති අංක 38/2019 දරන චක්‍රලේඛය මගින් සියලු ම ජාතික පාසල්වල විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇත.

ළමා නිවාසවල සිටින දෙමව්පියන් අහිමි දරුවන් අතරමැදි ශ්‍රේණිවලට ඇතුළත් කිරීමේ දී අදාළ ළමා නිවාසයේ භාරකරු විසින් යොමුකරන ලද අයදුම්පත පරීක්ෂා කර අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව පාසලට ඇතුළත් කරගැනීමට කටයුතු කළ යුතු බවට ද මෙම චක්‍රලේඛයේ සඳහන් වේ.

එමෙන් ම, පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළව නිකුත් කර ඇති 29/2019 චක්‍රලේඛයේ 4.5 උප වගන්තියේ සඳහන් පරිදි ළමා නිවාසයක සිටින සෑම ළමයෙකුගේ ම නීත්‍යානුකූල භාරකරු ලෙස ළමා නිවාසයේ භාරකරු සැලකේ.

ඒ අනුව අදාළ ඉල්ලුම් පත් යොමුකිරීම ළමා නිවාසයේ භාරකරුට පැවරේ. එම භාරකරුවන්ට ස්වකීය ළමා නිවාසවල සිටින දරුවන්ගේ අනාගත අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් ලබා දී ඇති මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

Read more

Local News