රටේ නායකත්වයට සුදුසු කවුද ?

Share

සියලු ජාතීන්ට ආරක්ෂාව ලබා දිය හැකි අපේක්ෂකයෙක් රටේ නායකත්වයට පත්විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ(27) පැවති ඉන්දියානු සාගර කලාපීය වෙරළ හා පාරිසරික සමුළුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉන්දියානු සාගර කලාපීය වෙරළ හා පාරිසරික දර්ශනය යන මැයෙන් මහින්ද රාජපක්ෂ මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරනු ලැබූ මෙම සමුළුව ඊයේ පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් ද යන්න කිසිවෙකුත් නොදන්නා බවයි.

ඉදිරි ජනාධිපතිවරයා සතු විය යුතු වැදගත්ම ගුණාංගය කුමක් ද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, ඒ ආරක්ෂාව ගැන ශක්තිමත් තීරණයක් ගත හැකි පුද්ගලයෙක් විය යුතු බවයි.

ඔහුට සියලු ජාතීන් එකතු කිරීමේ හැකියාව තිබිය යුතු බවත් එතුමා පැවසීය.

මෙම අවස්ථාවට එක් වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ මෙවන් අදහසකි.

“ජ.වි.පෙ.න් ඉදිරිපත් වන තුන්වන අපේක්ෂකයාට හැමකාලෙකම මිලියන භාගයක විතර ඡන්ද ප්‍රමාණයක් තියෙනවා.

මෙවර එහි වැඩිවීමක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මූලික ප්‍රතිඵලයට තුන්වැනි අපේක්ෂකයගේ බලපෑමක් වෙන්න පුළුවන්.

ඒක අනිවාර්යෙන්ම අභියෝගයක් බවට පත් වනවා වගේම අපි ඒ ගැන හොඳින් දැනගෙන ඉන්නේ. ඒ නිසාම අපි අපේ අවධානය යොමු කරලා තියෙන්නේ මේ බලපෑම කොහොමද කළමනාකරණය හෝ මෙහෙයවන්නේ කියන කාරණය ගැන. “

මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද මෙසේ අදහස් පළ කළේය.

“1982 ඉඳන් ජනාධිපතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරල බැලුවොත් තුන්වැනි බලවේගයකට අපේ රටේ කවදාවත් ඉඩක් ලැබිලා නැහැ. ජනතාව අවසන් මොහොතෙදි කඳවුරු දෙකකට බෙදෙනවා.

ඒ නිසා මම හිතන්නේ මේ වතාවෙත් මිනිස්සුන්ට වෙනසක් අවශ්‍ය වෙලා තියෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූලවන සංකල්පමය වෙනසක් සිදුකරන්න. “

Read more

Local News