නියම මැතිවරණ වසර 2020 වසරයි

Share

2019 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් වීම විශේෂයෙන් වැදගත් බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

එහි වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා ඊයේ (27) රාජගිරියේ පැවැති වැඩමුළුවකදී අවධාරණය කළේ 2020 මැතිවරණ වසරක් වන බැවින් 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් වීම පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.

රජය සහ මැති ඇමතිවරුන් වරින් වර 2019 මැතිවරණ වසර ලෙස නම් කර තිබුනද පවතින තත්වය අනුව ජනාධිපතිවරණය හැරුණුකොට වෙනත් මැතිවරණයක් මෙම වසරේදී අපේක්ෂා කළ නොහැකි බව මෙහෙිදී පෙන්වා දුන් මනාස් මකීන් මහතා කියා සිටියේ ජනාධිපතිවරණට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි නම් 2020 වසර තුළදී පළාත් සභා මැතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට සිදුවන බවයි.

මේ නිසා නියම මැතිවරණ වසර වන්නේ 2020 වසර බවද හෙතෙම අවධාරණය කළේය.

මෙම මැතිවරණ සඳහා 2019 වසරේ ඡන්ද හිමි නාම ලේඛණය අතිශය වැදගත් වන බව සඳහන් කළ මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ මේ වනවිට 2019 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ දළ කෙටුම්පත සියලුම ග්‍රාම නිලධාරි කාර්යාල වල සහ රජයේ කාර්යාලවල තබා ඇති බවයි.

මෙම දළ කොටුම්පත පරීක්ෂා කර බලා තාමගේ නම එහි සඳහන් වේ දැයි තහවුරු කර ගැනීමෙන් 2020 වසරේ එළඹෙන මැතිවරණ සඳහා ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව ලබා ගත හැකි බව හෙතෙම සඳහන් කළේය.

එලෙස නම සඳහන් නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් මැතිවරණ කොමිසම වෙත යොමු කළ හැකි බවත් එමෙන්ම තම ප්‍රදේශයේ පදිංචි නැති අයෙකුගේ නම ඇතුළත්ව තිබේ නම් ඒ පිළිබඳ විරෝධතා ගොනු කිරීමටත් සැප්තැම්බර් 19 වන දින දක්වා අවස්ථාව හිමිවන බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

ඉදිරි මැතිවරණ වලදී සිය ඡන්ද අයිතිය සුරක්ෂිත කර ගැනීම පුරවැසි යුතුකමක් බව පෙන්වා දුන් කැෆේ සංවිධාන‍ේ වැඩබලන විධායක අධ්‍යක්ෂ වරයා සඳහන් කළේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳයහන් දැයි කල් ඇතිව දැන ගැනීම මඟින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන දුෂ්කරතා මඟහරවා ගත හැකි බවයි.

Read more

Local News