අලුතින් සිතා නොබියව, නිවැරදි තීන්දු තීරණ ගන්න

Share

කාලයක් තිස්සේ පුරුදු පුහුණු කළ නිසා හෝ පොත්පත් බොහෝ ලියැවී ඇති නිසා හෝ පහසුව නිසා හෝ විෂය දැනුම පවතින අයුරින් පවත්වාගෙන යාම නතර කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන්, අනාගත ලෝක තත්ත්වයන්ට ‍මුහුණදිය හැකි අයුරින් සමස්ත අධ්‍යාපන පද්ධතිය නව්‍යකරණයට ලක්කිරීම පිණිස සියලු පාර්ශව විසින් අලුතින් සිතා නිවැරදි තීන්දු තීරණ ගත යුතු බවත්, එහි දී මතුවන ඕනෑම ගැටළුවකට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටීමට තමා සූදානම් බවත් අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, රුපියල් මිලියන සියයක මූල්‍ය ප්‍රතිපාදන සහිතව ජාතික අධ්‍යාපන ආයතනයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත තෙමහල් නේවාසිකාර ගොඩනැගිල්ලට මුල්ගල තැබීම වෙනුවෙන් අද (28) මහරගම ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයේ පැවති උත්සවයට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ ලක්ෂ 45කට ආසන්න පාසල් දරුවන්ගේ අනාගතය රැඳී ඇත්තේ අධ්‍යාපන පද්ධතිය තුළ ඔවුන් වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ මත බවත්, එහි දී ගුරුවරුන් පුහුණු කිරීම, විෂයමාලා සංවර්ධනය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව්‍යකරණයන් සඳහා උපයෝගී වන පර්යේෂණ කාර්යයන් මෙහෙයවීම ඇතුළු විශාල කාර්යභාරයක් පැවරී ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනයට බවත් මෙම ක්‍රියාවලියේ දී ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව සහ ප්‍රකාශන දෙපාර්තමේන්තුව අතර මනා සම්බන්ධීකරණයක් පැවතිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහි දී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා,

“විශේෂයෙන් ම එදා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටි රනිල් වික්‍රමසිංහ මැතිතුමා 1985 මේ ආයතන‍ය ආරම්භ කළේ මේ රටේ ඉන්න නුපුහුණු ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් සහ විෂයමාලා සංවර්ධනයට වෙනම ආයතනයක් තිබිය යුතුයි කියන විශ්වාසයත් එක්කයි.

විෂය මාලා වෙනස් වීමේ වැදගත්කම ප්‍රගති සමාලෝචන රැස්වීම්වලදීත් මතු වූ ප්‍රධාන කරුණක්. පසුගිය කාලය තුළ විද්‍යාපීඨවල විෂය මාලා වෙනස් වෙලා තිබුණෙ නෑ. අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා.

අතීතයේ දැනුම දෙගුණයකින් වෙනස් වෙන්න අවුරුදු 100ක් ගතවුණා. ඒත් දැන් දැනුම දෙගුණයකින් වෙනස් වෙන්න යන්නේ මාස 13යි. සමහර අලුතින් හිතන්න බැරි අයට, දූපත් මානසිකත්වයෙන් හිතන අයට මේව විහිළු විදියට පේන්න පුළුවන්. ඒත් අපි අධ්‍යාපන පද්ධතියෙ තීන්දු තීරණ ගන්නෙ ඒ හැමදෙයක් ම හිතලයි” යනුවෙන් ද පැවසීය.

නුදුරේ දී ම පාසල් සිසුන් වෙත ටැබ් පරිගණක 97,000ක්  ලබාදෙන බවත්, මේ වනවිටත් ඩිජිටල් පන්ති කාමර විශාල ප්‍රමාණයක් අලුතින් ආරම්භ කර ඇති බවත්, පැවසූ අමාත්‍යවරයා, දරුවන්ට නවීන පහසුකම් සමග නව දැනුම සමීප කරවීම වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය තුළ එවැනි නව හඳුන්වාදීම් සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගැනීමට හැකි වූ බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News