බැඳුම්කර පරීක්ෂණ පමාවීම යුක්තිය ඉටුවීමට බාධාවක් බව ජනපති කියයි

Share

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරික්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ඉතා කඩිනමින් අදාළ පරික්ෂණ කටයුතු ඉදිරියට කි‍්‍රයාත්මක කර වැරදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිතුමා කියා සිටියේ පරීක්ෂණ පමාවීම යුක්තිය ඉටුවීමට බාධාවක් බවයි.

බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන සභාවේ සාමාජිකයන් ඇතුළු නිලධාරින් සමඟ අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ය.

මේ වන විට අන්තර්කාලීන වාර්තා 04 ක් ලැබී තිබෙන බවත්, මෙම දෙසැම්බර් මාසය වන විට ඉතිරි වාර්තා ද ඉදිරිපත් කළ හැකි බවත් මෙහි දී අනාවරණය කෙරිණි.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධව බැංකුවලින් වසර 05ක ලේඛන ඉල්ලා සිටිය ද තවමත් එම වාර්තා ලැබි නොමැති බැවින් පරික්ෂණ කටයුතු ඉදිරියට සිදු කිරීමේ දී අහසුතාවයක් මතුව තිබෙන බව ද නිලධාරිහු පෙන්වා දුන්හ.

මෙම වංචාවට අදාළ චූදිතයන්ට දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ අපරාධමය වරදක් ලෙස චෝදනා ඉදිරිපත් කර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළ සාක්ෂි දිවුරුම් ප‍්‍රකාශ මගින් මෙම දෙසැම්බර් මාසයට පෙර ඉදිරිපත් කරන බව ද සඳහන් කෙරිණි.

මෙම පරික්ෂණ කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් තම පාර්ශ්වයෙන් ලැබිය යුතු සෑම සහයක්ම ලබාදෙන බව ජනාධිපතිතුමා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News