රන්ජන්ට එරෙහි පැමිණිල්ල අද විභාගයට

Share

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබේ.

සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යළි විභාගය පැවැත්විය.

එහිදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කෙරුණි.

ඉන් අනතුරුව වගඋත්තරකාර රංජන් රාමනායක මහතා සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි දීම ආරම්භ කළේය.

එහිදී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් රන්ජන් රාමනායක අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙම නඩුවට පාදක වී තිබෙන ප්‍රකාශය තුළින් එවකට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විවේචනය කිරීම පමණක් තම චේතනාව වූ බව ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශය තුළින් මෙරට විනිසුරුවරුන් විවේචනය කිරීමේ අරමුණක් තමන් තුළ නොවූ බවද ඔහු කියා සිටියේය.

මෙම ප්‍රකාශයේදී තම මුවින් විනිසුරුවරුන් යන වචනය පිට වුවද පසුව තමා එය එම අවස්ථාවේ දීම ක්ෂණිකව නිවැරදි කරමින් නීතිඥවරු යනුවෙන් ප්‍රකාශ කළ බවද රාමනායක මහතා සඳහන් කළේය.

ශ්‍රි ලංකාවෙ හිටපු අගවිනිසුරු සරත්. එන් . සිල්වා මහතා තමා දුන් නඩු තීන්දුව පිළිබඳව ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටි බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා අගවිනිසුරු මොහාන් පීරිස් මහතා තමන්ම දිගටම එම තනතුරේ තබාගන්නා ලෙස තමාගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළ බවද අධිකරණය හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.

මෙහිදී සිසිර ද ආබෲ සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරුවරු ප්‍රශ්නයක් මතුකරමින් මෙම නඩුවට පාදකවී ඇති ප්‍රකාශය මගින් වර්තමානයේ සේවයේ යෙදී සිටින විනිසුරුවරුන් විවේචනයක් කිරීමක් සිදු කර තිබෙනවා නොවේදැයි රංජන් රාමනායක මහතාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් රංජන් රාමනායක මහතා කියාසිටියේ අධිකරණය කෙරෙහි පවතින ඇතැම් චෝදනා සම්බන්ධයෙන් ජනතාව අතර පොදුවේ මතයක් පවතින බවත් එය පදනම් කරගෙන තමා මෙවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බවයි.

තමාගේ කිසිදු ප්‍රකාශයක් විනිසුරුවරුන් ඉලක්ක කරගත් ප්‍රකාශය නොවන බවද රංජන් රාමනායක මහතා සිය සාක්ෂියෙන් ප්‍රකාශ කළේය.

සාක්ෂි විභාගය පැවති අවස්ථාවේ රංජන් රාමනායක මහතා අධිකරණය පිළිබඳව කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා සිය විරෝධය පළකර සිටියේය.

ඔහු සඳහන් කර සිටියේ ඇතැම් පුද්ගලයින්ට මඩ ගැසීම සඳහා සාක්ෂි කූඩුව වේදිකාවක් කර ගැනීමට ඉඩ දිය නොහැකි බවයි.

විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ද අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ අධිකරණය සම්බන්ධයෙන් කිසියම් සීමාවකට යටත්ව කරුණු ප්‍රකාශ කිරීම සුදුසු බවයි.

නඩුවේ වැඩිදුර විභාගය හෙට (29) සහ අනිද්දා දින වල යොදා ගෙන තිබුණද රංජන් රාමනායක මහතා අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින හෙයින් එම දින දෙක අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සැප්තැම්බර් මස 10 දා ට කල් තැබීය.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව එම චෝදනා පත්‍රය ගොනු කර තිබේ.

2017 වසරේ අගෝස්තු මස 21 වනදා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසුව ජනමාධ්‍ය වලට අදහස් පලකල රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත බව ප්‍රකාශ කර තිබුණි.

ඒ තුළින් මෙරට විනිසුරුවරුන් සහ අධිකරණ පද්ධතිය පිළිබඳව රංජන් රාමනායක මහතා මහජනතාව තුළ පවතින විශ්වාසය හීන කරන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

Read more

Local News