අල්ලස් චෝදනා එල්ල වු විශේෂඥ වෛද්‍යවරයාගේ නඩු විභාගය ඔක්තෝබර් මස අරඹයි

Share

රුපියල් 75000/- ක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින කුලියාපිටිය මුලික රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍ය ආර්.එම්. තෙන්නකෝන්වෙල මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 10 වනදා ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (29) නියෝග කළේය.

මෙම නඩුව අද ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විශේෂ මහාධිකරණය නඩු විභාග කඩිනමින් අවසන් කිරීමේ අරමුණින් ස්ථාපිත කර තිබෙන හෙයින් එම නඩුව විභාග කිරීම සඳහා කඩිනම් දිනයක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩුව ඔක්තෝබර් මස 10 වන දා විභාගයට ගැනීමට නියම කළේය.

එදිනට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද දින අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට විනිසුරුවරුන් අවවාද කළේය.

රෝගීන් විසින් කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රසායනාගාරයකින් රැගෙන එන පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප නොකොට භාර ගැනීම සඳහා එම පෞද්ගලික රසායනාගාරයේ හිමිකරුගෙන් මාසිකව රුපියල් 25000/- ක් බැගින් අල්ලස් ඉල්ලා 75000/- ක මුදලක් ලබාගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට කුලියාපිටිය මුලික රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍ය තෙන්නකෝන්වෙල මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත.

Read more

Local News