නොවැම්බර් මධ්‍යවාර මැතිවරණයට පෙර තැපැල් ඡන්ද භාවිතය සීමා කිරීමට ජනාධිපති Donald Trump ඉදිරිපත් කළ සැලසුම ක්‍රියාත්මක කිරීම අවහිර කරමින් පහළ අධිකරණයක් ලබාදුන් නියෝගය ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර තිබේ.
ඒ අනුව, US Postal Service (USPS) වෙත තැපැල් ඡන්ද සම්බන්ධයෙන් නව අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවසර හිමි නොවේ.
මෙම තීන්දුව සම්බන්ධයෙන් Trump දැඩි විවේචනයක් එල්ල කරමින්, Republican පක්ෂය වෙත තවත් අවාසිදායක තීන්දුවක් ලැබී ඇති බව ප්‍රකාශ කළේය.
Trump මාර්තු මාසයේ අත්සන් කළ විධායක නියෝගයකින් එරට තැපැල් සේවය වෙත, ප්‍රාන්ත මැතිවරණ බලධාරීන් විසින් සකස් කරන ලද ලැයිස්තුවල සිටින ඡන්දදායකයන් වෙත පමණක් තැපැල් ඡන්ද පත්‍රිකා යැවීමට අදාළ නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස නියෝග කර තිබිණි.
ප්‍රාන්ත මැතිවරණ බලධාරීන් පෙන්වා දී තිබුණේ මධ්‍යවාර මැතිවරණයට ආසන්නව මෙවැනි වෙනස්කම් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික ගැටලු ඇති කළ හැකි බවයි. මේ අතර, මෙම නඩුව සම්බන්ධ නීතිමය ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට යා හැකි බැවින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුව අවසන් තීන්දුව නොවිය හැකි බව ද වාර්තා වේ.
2024 මහ මැතිවරණයේදී ඇමෙරිකානු ඡන්දදායකයන්ගෙන් ආසන්න වශයෙන් තුනෙන් එකක් තැපැල් ඡන්ද භාවිත කර තිබූ අතර, Oregon, Washington සහ Colorado වැනි ප්‍රාන්තවල තැපැල් ඡන්ද විශාල වශයෙන් භාවිත වේ.




