කොළඹ ආරක්ෂක සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Share

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කොළඹ ආරක්ෂක සමුළුව – 2019” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

ලොවපුරා වූ ආරක්ෂාව හා සබැදි පාර්ශ්වකරුවන්, විද්වතුන් සහ ආරක්ෂක විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන් “සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය” තේමාව යටතේ සමුළුව අද සහ හෙට (30) කොළඹ දී පැවැත්වෙයි.

විද්වත් කතිකාවකට මුලපුරමින් දෙදිනක් පුරා පවත්වනු ලබන කොළඹ ආරක්ෂක සමුළුව – 2019 සඳහා විදේශීය විද්වතුන් 13 දෙනෙක් සහ දේශීය විද්වතුන් 12 දෙනෙක් ඇතුළු ව නියෝජිතයන් 800ක පමණ පිරිසක් සහභාගි වී සිටින අතර, වත්මන් ආරක්ෂක භූමිකාව, ගැටුම් හෝ සහයෝගිතාවය, ත්‍රස්තවාදය සමඟ සටන් කිරීම, වත්මන් ආරක්ෂක භූමිකාව තුළ හමුදා සූදානම් කිරීම යන උප මාතෘකා මෙම සමුළුවේ දී සාකච්ඡාවට බඳුන් කෙරේ.

“කොළඹ ආරක්ෂක සමුළුව 2019” හි සියලු සංවිධාන කටයුතු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබන අතර ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතා විසින් සමුළුවේ සමාරම්භය සනිටුහන් කරන ලදී.

Read more

Local News