වැල්ලවායේ රක්ෂිත දෙකක ගින්නක්

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්බොක්ක සහ දෙමටකැටිය යන රක්ෂිත වල හටගත් ගින්නකින් අක්කර 70 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

ඊයේ (29) පස්වරුවේ හටගත් ගින්න රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වූ අතර ගින්න නිසා රක්ෂිතයේ ඉපැරණි ශාක සහ සතුන් රැසක්ම විනාශ වී ඇත.

මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමණාකරන ඒකකයේ දැනුම් දීමකින් පසු යුද හමුදා භට පිරිසක් ගින්න නිවීම සඳහා සහභාගි වූ අතර ඊයේ රාත්‍රි වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇත.

ප්‍රදේශයට මේ දින වල පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න පාලනය කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇත.

කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැකපල කරයි.

වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News