සංචාරක කර්මාන්තයේ නියැළී සිටින වෘත්තිකයන්ට සහන සැලසිම කඩිනම් කරන්න

Share

සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී සිටින සංචාරක කර්මාන්තයේ නියැළී සිටින වෘත්තිකයන් වෙත සහන සැලසීමට රජය පසුගියදා ගත් තීරණ නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට අවධාරණය කර ඇත.

මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අඩපණ වූ සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ අනුකාරක සභාවක් ද පිහිටුවමින් තීන්දු තීරණ රැසක් ගත් අතර එහි ප්‍රතිලාභ තවමත් ක්ෂේත්‍රයේ පිරිස් වෙත විධිමත්ව ලැබී නොමැති බවට ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් වී ඇත.

ඊයේ (29) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර මුදල් අමාත්‍යාංශයේ, සංචාරක මණ්ඩලයේ නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතන නියෝජනය කරමින් නියෝජිත පිරිසක් මීට එක්ව සිටියහ.

සහනදායී ණය ලබාදීම, ලීසිං වාරික ඇතුළු ගැටලු රැසක් මෙහිදී ඉදිරිපත් කෙරුණු ඒ පිළිබඳ සහන සැලසීමට රජය ගත් තීරණ නිසි පරිදි ක්‍රියාත්මක කරමින් සහ අදාළ නියෝජිතයන් සමඟ සාකච්ඡා කරමින් අදාළ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ සහ සංචාරක කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයන් දෙදෙනෙකු පත් කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ජෝන්අමරතුංග, මංගල සමරවීර යන අමාත්‍යවරුන් සහ මුදල් අමාත්‍යාංශය, සංචාරක මණ්ඩලය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Read more

Local News